මින්නේරියට නිරෝධායන ට්‍රිප් එකක් ආපු මෝදර ධීවර සංස්ථාවේ 7න් 4කට කොවිඩ්…

මෝදර ධීවර සංස්ථා ශාඛාවේ සභාපතිවරයාට කොවිඩ් ආසාදනය වූ පසු  පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් පිරිසෙන් හත් දෙනෙක්, සෞඛ්‍ය වෛද්‍ය අංශවල කිසිම දැනුවත් වීමකින් තොරව නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ සිට   මින්නේරියට පැමිණ සංචාරක බංගලාවක සිටිය දී ඉන් සිව් දෙනෙක් කොවිඩ් ආසාදිතන් බව තහවුරු වී තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය  මෙසේය.

මෝදර ධීවර සංස්ථා ශාඛාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීමත් සමග ඔහුගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ.  එසේ පී.සී.ආර් පරීක්ෂණ කර  දින 14 නිරෝධායනයට යොමු කළ විට සිය නිවෙස් වලට යෑමට අකමැති වූ පුද්ගලයින් 07 දෙනෙක් සෞඛ්‍ය වෛද්‍ය අංශ දැනුවත් නොකර සංස්ථා බලධාරීන්ගේ අනුදැනුම මත  ධීවර සංස්ථාවේ ලොරියක නැගී මින්නේරිය ධීවර සංස්ථා සංචාරක නිල නිවස වෙත පසුගිය 06 වැනිදා රාත්‍රියේ 08 ට පමණ  පැමිණ ඇත.


මේ පිරිස මින්නේරියට පැමිණ ඇත්තේ වරකාපොල, තෝරයාය හා මින්නේරියේ කඩවල්  කිහිපයක නතර කර තේ පානය කරමින් හා විවිධ දේ මිල දී ගනිමිනි.  ඔවුන් කොළඹ සිට එන විට මත්පැන් රැගෙන විත් එදින රාත්‍රියේ මත්පැන් සාදයක් ද පවත්වා තිබේ.

පෙර දින රාත්‍රියේ ආගන්තුක පිරිසක් පැමිණි බව ගම් වැසියන් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු   අදාල නිලධාරීන්  නිවාඩු නිකේතනයට ගොස් විමසන විට එම නිවාඩු නිකේතනයේ කලමණාකාර තැනත් තොරතුරු වසන් කර ඇතැයි වාර්තා වේ.

එහෙත් ඊයේ (07) සවස් වනවිට වාර්තා වී තිබුණේ මේ පුද්ගලයන් හත් දෙනාගෙන් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවය. මේ වනවිට ආසාදිතයන් සිව් දෙනා වැලිකන්ද රෝහලට පිටත් කර යවා තිබේ. ඉතිරි තිදෙනාත්, සංචාරක බංගලාවේ කළමණාකාර වරයාත්, සහායකයාත් දින 14ක නිරෝධායනය සඳහා යොමු කර ඇත.

මග දිගට ඔවුන් නැවැත්වූ ආපන ශාලා හා කඩ හඳුනාගෙන ඒ පිරිස් ද නිරෝධායනය සඳහා යොමු කිරීමට සූදානම් බව සෞඛ්‍ය අංශ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු වගකීම් සහගත සමාජ විනය නොතැකීම,  නිරෝධායන නීතිය කඩ කිරීම, තොරුතුරු වසන් කිරීම ඇතුලු කාරණා මත අධිකරණමය ක්‍රියාවලියකට යෑමට හැකි දැයි මේ වනවිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අංශ සොයා බලමින් සිටින බව වාර්තා වේ.

 

Exit mobile version