මැකො සාමාජික හූල්ට එරෙහිව පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

‘මෙවර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය පාවිච්චි කිරීමට එපා’ යයි රත්නජීවන් හූල්  මාධ්‍යයට සිදුකළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ලේ සිදු කර ඇත.

ලංකා පොදුජන පෙරමුණේ සභාපති සාගර කාරියවසම්  ඇතුළු පිරිසක් විසින් අද දහවල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ හූල්ගේ ප්‍රකාශය සම්බන්ධව වහාම මැතිවරණ කොමිෂන් සභාව රටට ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.


මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙකුව සිටිමින් රත්නජීවන් හූල් සිදු කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින් මෙරට මුද්‍රිත මාධ්‍යයේ ‘පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා’ යනුවෙන් පළ කර තිබීමෙන් තම පක්ෂයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව සාගර කාරියවසම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මහාචාර්ය හූල් මහතා සිදුකර තිබෙන ප්‍රකාශය මගින් ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය ඔහු විසින් කඩ කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් එක්තරා ප්‍රධාන මුද්‍රිත මාධ්‍යයකින් වාර්තා කළ උක්ත පුවත තමන් ප්‍රකාශ නොකළ බව තරයේ කියා සිටින මහාචාර්ය රත්නජීවන් හූල් තමන් කීවේ  “ඔබට බොරු කියන අයට, ඔබ රවටන අයට  ඔබ ඡන්දය නොදිය යුතුයි“ කියා පමණක් බවය. තොප්පිය හරිනම් දාගත්තට කමක් නැතැයි ද මහාචාර්යවරයා පවසයි.

Exit mobile version