මා සිටිනතුරු රටේ ධීවර සම්පත පිටරටකට විකුණන්න දෙන්නෙ නෑ… ධීවර ඇමති

douglas-devananda

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් වත්මන් රජය සමග කටයුතු කළත් මේ රටේ ධීවර සම්පත් වෙනත් රටකට විකුණා දමන ප්‍රතිපත්තියට විරුද්ධ යැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ 26 දා කිළිනොච්චියේදී පැවසීය.

කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වූ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වෙනත් රටවලට විකුණා දැමීමට මේ රජය කටයුතු කරණ බවට බොහෝ දෙනෙකු විශාල ප්‍රචාරයක් ගෙන යන නමුත් කිසිම රටකට ශ්‍රී ලංකාවේ ධීවර සම්පත් විකුණා දැමීමට තමන් ධීවර අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ රටේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා ලෝකයේ සෑම රටකින්ම පාහේ ආධාර උපකාර තාක්ෂණ දැණුම ලබා ගැනීමට සූදානම් බව පැවසූ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා එවැනි අවස්ථා වලදී ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විදෙස් රටවලට විකිණීමට බදු දීමට යන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යාම සාධාරණ නොවන බවද ප්‍රකාශ කළේය.

රජය එවැනි තීරණයක් ගැනීමට සූදානම් වන්නේ නම් තමන් ඊට විරුද්ධ වන බව කී ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ඉන්දියාව සමග නිකරුණේ විරසකභාවයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන බවද කියා සිටියේය.

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීමේ ක්‍රියාව නතර කිරීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවත් තමන් බලාපොරොත්තු වන පරිදි මේ වසර අවසන් වන විට ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය අවසන් කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරණ බවත් ඔහු සදහන් කළේය.

Exit mobile version