මහ මුහුද මැද ඩීසල් ජාවාරමක්?… ඉන්ධන බෙදාහැරීම ගැන විගණනයක් කරන්නැයි යෝජනාවක් එයි…

fishing

ධීවර වරාය 24 හරහා මේ මොහොතේත් දෛනිකව බෙදා හැරෙන ඩීසල් ලීටර දෙලක්ෂ අනූදහසකට ආසන්න    ඉන්ධන ප්‍රමාණය බෙදා හැරෙන ආකාරය පිළිබඳ විධිමත් විගණනයක් අවශ්‍ය බවට ධීවර සංස්ථාව අභ්‍යන්තරයෙන්ම යෝජනාවක් මතු වී තිබේ.

මෙම ඉන්ධන බෙදා හැරීම අතිශය අතාර්කක බවත් ඉන් මේ මොහොතේ ජාතික ආර්ථිකයට ඇති ඵලදායීතාව  ඉතාම අල්ප බවත්,    මුහුද මැද නීති විරෝධී ජාවාරම් කරන පිරිස් ඉලක්ක කරගත්    ඉන්ධන ජාවාරමක  ස්වරූපයක් ද මේ සමග  හෙළි වෙමින් ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලංකාවේ ධිවර වරායන් 22ක් සක්‍රීයව  පවතී.  එම ධීවර යාත්‍රා කේන්ද්‍රකොට ගෙන අඩි 28 සිට 60 දක්වා වූ බහුදින ධීවර  යාත්‍රා, එනම්  ඒ   ඩීසල් ලීටර් 500 සිට 12000ක්  දක්වා වූ  ටැංකි ධාරිතාව සහිත    බහුදින යාත්‍රා 5400ක් මෙහෙයුම් කරනු ලබයි.

මේ වනතුරු මේ සෑම වරායක් සඳහාම කොලොන්නාවෙන්  සහ මුතුරාජවෙලින් දෛනිකව  ඩීසල් ලීටර 13200ක අවමයක් නිකුත් කරමින් ඇත. ඒ අනුව දිනකට අවම වශයෙන් ඩීසල් ලිටර දෙලක්ෂ අනූ දහසකට වැඩි  ප්‍රමාණයක්   මෙම ධීවර වරායන් වෙත යොමු කරයි.


ඒත් මේ වනවිට  ලංකාවෙ මත්ස්‍ය නිෂ්පාදනයෙන් 70%ක් සපයන්නේ  කුඩා බෝට්ටු වලිනි. එනම් භූමිතෙල් එන්ජින්  සහිත බෝට්ටුවලිනි.

ධීවර අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග  පෙන්වා දෙන්නේ  මේ  දිනපතා නිකුත් කරන ඩීසල් කන්දරාවේ පිරිවැයෙන්  රටේ ආර්ථිකයට ඵලදායී පුනරාවර්ථනයක් සිදු නොකරන බවය.  මෙම ඩීසල් ලීටර ප්‍රමාණය ධීවර කර්මාන්තය තුළම ඵලදායී ලෙස  යොදවා   ජාතික ආර්ථිකය ට   ප්‍රතිලාභයක් එක් කරගැනීමේ  හැකියාව මග හැර ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

තංගල්ලෙ එක් ධීවර ආයතනයකට  ටෝලර් 22ක්  ඇති බවත්,  මිරිස්සේ ආයතනයකට  ට්‍රෝලර්  දාහතරක් ඇති බවත්,  බේරුවල ආයතන දෙකකට ට්‍රොර්ලර් 12 බැගින් යාත්‍රා 24ක් ඇති  බවත්,    හෙළිවන පරිදි රටේ ප‍්‍රබලම දේශපානඥයින් පිරිසක් ද බහුදින යාත්‍රා සඳහා වෙනත් පුද්ගලයින් මගින් ආයෝජනය කර ඇති බවත් පෙන්වා දෙන එම ආරංචි මාර්ග   දෛනිකව මේ පිරිස් වටා ඩීසල් ලක්ෂ ගණනක්  සංසරණය වන බව පෙන්වා දෙයි .

ඉතිහාසයේ නොවූ මිලකට මාළු මිල ගණන් වැඩි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ  මෙම ඉන්ධන ප්‍රමාණය බෙදා හැරෙන ආකාරය සහ එහි  ඵලදායීතාවය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවටවන ප්‍රබල අදහසක් ධීවර සංස්ථාව තුළින්ම මතුවෙමින් තිබේ.

Exit mobile version