“මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ හාල් මාෆියාවට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම යටවුණා”

හිටපු ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා

මහා පරිමාණ හාල් හිමියන් විසින් මෙහෙයවන හාල් මාෆියාව පරාජය කිරීමට නම් අනිවාර්යයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියා ශක්තිමත් කොට ඔවුන් බලගැන්වීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් සංවර්ධන හිටපු ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

නාඩු, සම්බා හා කීරි සම්බා ඇතුළු හාල් වර්ග රැසක පාලන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සමග රටේ ජනතාවට අත්වන ඉරණම පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් හිටපු ඇමති ඇමැතිවරයා එසේ කීය.

පසුගිය ආණ්ඩුව සමයේ සම්බා කිලෝවක් රුපියල් 85ට, නාඩු රුපියල් 80ක් ලෙස වෙළඳපොලේ හාල් මිල සාධාරණ ලෙස පවත්වාගෙන යාමට සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කොට, සමුපකාර ක්‍රමවේදය හරහා ‘ශක්ති’ නමින් තරගකාරී හාල් සැපයුමක් සිදු කළ බව පැහැදිලි කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන් මහා පරිමාණ හාල් මෝල් හිමියන් පවත්වාගෙන ගිය හාල් මාෆියාව සාර්ථකව පරාජය කිරීමට හැකියාව ලැබුණු බව ද කීය.


එලෙස සමස්ත ලංකා සහල් නිෂ්පාදකයායින්ගේ සමූපකාර සමිති සම්බන්ධ කරගෙන නව ව්‍යවසායකයින් 250ක් දිස්ත්‍රික්ක 8ක ගොවි ජනතාව දස දහසක් දෙනා එක්ව ‘ශක්ති’ හාල් වෙළඳපොළට සැපයීමට පියවර ගැනිණි.

ඒ සඳහා රාජ්‍ය කාරක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 1000ක් යෙදවූ බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

එලෙස ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ හාල් මාෆියාව මැඩලීමේ වැඩපිළිවෙළක් අතරමඟ නතර කළ වත්මන් ආණ්ඩුව මේ වනවිට සම්පූර්ණයෙන්ම මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ මාෆියාවට යටවී ඇතැයි ද ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති සොහොයුරු බැසිල් රාජපක්ෂ යන මහත්වරු මහා පරිමාණ හාල් මෝල් හිමි ඩඩ්ලි සිරිසේන මහතා සමඟ හමුවී මේ අන්දමට හාල් සඳහා පැවති පාලන මිල ඉහළ දමා ගෙන ඇතැයි කී හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුව පාරිභෝගික හා ගොවි ජනතාව රැවටීමට බොරුවට මාධ්‍ය හා ආරක්ෂක හමුදා යොදාගෙන කළ සංදර්ශන සියල්ල අද පුස්සක් බවට පත් වී තිබෙන බව ද අවසාන වශයෙන් පවසා සිටියේය.

Exit mobile version