මහවැස්ස කළ හරිය…

දිවයිනේ ප්‍රදේශ රැසකට 13 වැනිදා දවල් හා රාත්‍රිය පුරා ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පහත් බිම් හා මාර්ග රැසක් ජලයෙන් යට වූ අතර පවුල් 321කට අයත් පුද්ගලයන් 1163 දෙනෙක් විපතට පත්ව තිබේ. තවදුරටත් ගණනය කිරීම් සිදු කෙරෙමින් පවතින අතර මේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කීවේ ය.

ජල ගැලීම් හා පස් කඳු කඩා වැටීමෙන් නිවාස 53කට හානි සිදුව ඇති අතර පවුල් 45කට අයත් පුද්ගලයන් 194 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආපදා සහන කණ්ඩායම් විසින් කටයුතු යොදන ලදි.

අධික වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කොළඹ, බියගම, කොළොන්නාව, වත්තල, කඩුවෙල, දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, හංවැල්ල, ග්ලේන්කෝස්, තොලොම්බුව, දැරණියගල, නෝවුඩ් ප්‍රදේශ ද කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මගුර, කළවැල්ලාව, මිල්ලකන්ද ප්‍රදේශ ද ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් තවලම, බද්දේගම, නාගොඩ ප්‍රදේශ ද නිලවලා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පානදුගම, පිටබැද්දර ප්‍රදේශ ද මහා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් බඩල්ගම, ගිරිඋල්ල ප්‍රදේශ ද අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් දුනමලේ ප්‍රදේශ ද අවට පහත් බිම් හා මාර්ග බොහෝමයක් ජලයෙන් යට විය.


එම ගංගා හා ජලාශ අවට තවදුරටත් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 14 වැනිදා උදෑසන වනවිට දැදුරුඔයේ වාං දොරටු 4ක් විවෘත කරන ලද අතර තවදුරටත් කුකුළේ ගඟ, උඩවලව, නෝට්න්, කැනියොන් ජලාශවල ද වාං දොරටු විවර කර ඇත.

මේ අතර කෑගල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරන ලද අතර ගිං ගඟ ආශ්‍රිතව 32 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

චන්ද්‍රිකා දර්ශන

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි. එය සුළි කුණාටුවක් බවට පත්වෙමින් අරාබි මුහුද අවට තව දින කිහිපයක් පවතින අතර ක්‍රමයෙන් උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් 18 වැනිදා පමණ වන විට එය ගුජරාටි හා පකිස්තානු වෙරළ තීරයට ඇතුලු විය හැකි බවයි.

ඒ දක්වා ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව ධීවර හා නාවික කටයුතුවල යෙදීම දැඩි අවදානම් බවත්,
මෙම පීඩන අවපාතයේ බලපෑමෙන් දිවයිනේ සබරගමුව, මාධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි, ගිගුරුම් සහිත වැසි, අකුණු අනතුරු, දැඩි සුළං ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බවත් කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බටහිර හා නිරිත දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ බොහෝ සෙයින් රළු වන අතර කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ද තද වැසි, තද සුළං, අකුණු, මුහුදේ කැළඹිලි ස්වභාවයන් ඇති වේ.

මේ හේතුවෙන් තවදුරටත් ගංගා හා ජලාශවල ජල මට්ටම ඉහළ යන අතර ජල ගැලීම් අවදානම ද වැඩි වන බැවින් ආපදා සහන සේවා, ජීවිතාරක්ෂක බෝට්ටු මෙන් ම අවශ්‍ය වුවහොත් හෙළිකොප්ටර් ද යොදා ගනිමින් සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ සේවා කණ්ඩායම් සූදානම් ව ඇති බවත්, හදිසි අවශ්‍යතාවක් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතනය පැය 24 පුරා හදිසි මෙහෙයුම් සඳහා ක්‍රියාත්මක බවත් කොඩිප්පිලි මහතා කීවේ ය.

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වැසි තත්ත්වය වැඩි වන බැවින් නායයාම් අනතුරු සහිත සෙසු ප්‍රදේශවල ජනතාවට ද විමසිලිමත් වන ලෙසට අනතුරු ඇඟවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව පවතින කැළඹිලි තත්ත්වයත් සමග වර්ෂාපතනයේ ඉහළ යාම හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල ද නායයාම් අවදානම ඉහළ යන බැවින් ඒ පිළිබඳ ව ද දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවට ද අනතුරු ඇඟවේ.

Exit mobile version