මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පොරොන්දු වූ පරිදි තම වට්ටක්කා වගාවට ජලය ලබා නොදීම හේතුවෙන් වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේ අක්කර දහයක පමණ ප්‍රමාණයකින් යුත් වට්ටක්කා වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බව රුහුණුකෙත ගොවීහු සඳහන් කරති.
සේනපුර මහවැලි කොට්ඨාස කාර්යාලය මගින් රුහුණකෙත ගම්මානයේ ගොවීන්ට වට්ටක්කා වගා කිරීමට උපදෙස් සහ පුහුණු ලබාදුන් බවත්, තමන්ට නිසි ලෙස දින දාහ හතරෙන් දාහතරට ජලය ලබාදෙන බව පැවසුවද මේ වනවිට ජලය නොමැතිකමෙන් තම වට්ටක්කා වගාව සම්පූර්ණයෙන්ම විනාශ වීමට ලක්ව ඇති බවත් වට්ටක්කා ගොවීන් පෙන්වා දෙති.

මහවැලි ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ උපදෙස් මත රුහුණුකෙත වෙල්යායේ ගොවීන් වට්ටක්කා වගා කෙරූ බවත්, බැංකු වලට ණය වී අක්කර දෙකහමාරක පමණ වට්ටක්කා වගාවක් කිරීමට තමන්ට රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වැයවූ බවත් ගොවීහු කියති.
මෙම වගාව විනාශ වීමට ඉඩ නොදී ජලය ලබාදෙන්නේ නම් අක්කර දෙක හමාරේ වට්ටක්කා අස්වැන්නෙන් රුපියල් ලක්ෂ විස්සක පමණ ආදායමක් ලබාගත හැකි බව රුහුණුකෙත ගම්මානයේ වට්ටක්කා ගොවියකුවන සිරිල් අමරසිංහ සඳහන් කළේය.
මහවැලි අධිකාරිය විශ්වාස කර කළ ගොවිතැන අවසානයේ දී අත කණ කර පවා නැතිවීමේ අවදානමකට ලක් වී සිටින තමන් මේ අවනඩුව කියන්නේ කාටදැයි ගොවීහු ප්‍රශ්න කරමින් සිටියහ.

තමන් වගා කෙරූ වට්ටක්කා වගාවට පිටින් බූලි වලට වතුර ගෙනවිත් බේරා ගැනීමට හැකිවූයේ වාගාවෙන් සියයට හතලිහක් පමණ බව ගොවීහු පෙන්වා දුන්හ.
වට්ටක්කා වගාවට ජලය ලබානොදීම පිළිබඳව සේනපුර කොට්ඨාශ කළමනාකාර නෙරංජලා ධම්මිකාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ ඉසෙඩ්.ඩී. ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බැවින්, වට්ටක්කා වගාවට ජලය නිකුත් කිරීමට යම් ගැටලුවක් පැවතුණු බවය.
කෙසේ වෙතත් ඇලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්වීමෙන් පසු ඉතා ඉක්මනින් වට්ටක්කා වගාවට ජලය නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඇය කීවාය.







