මහර සිද්ධියෙන් මියගිය රැඳවූවන් ආදාහනයට අධිකරණයෙන් නියෝග

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධියෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මරණවලට මූලික හේතුව වෙඩි වැදීම් බවය.

ඒ අනුව අදාළ දේහ ආදාහනය කිරීමෙන් තොරව භූමදානය කිරීමට අවසර දෙන ලෙසට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබු අතර ඉහත තීන්දුව ලබාදුන්නේ ඒ අනුවයි.


පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පෙන්වා දුන්නේ වෛරසය ආසාදනය වූ මෘත දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව ය.

එවැනි අවසරයක් ලබාදීම කොවිඩ් 19 වෛරසය අසාදිත මළසිරුරු සඳහා ලබාදී ඇති රජයේ සෞඛ්‍ය රෙගුලාසිවලට මුළුමනින්ම පටහැනි වන බවද ඇය කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙච්ච මෘත දේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නෑ. මා නැවත නැවතත් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සමාජයේ අනෙකුත් මහජනතාවට වෙන අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන මෙය භූමදානය නොකර ආදාහන කටයුතු කිරීමට නියෝගයක්. මේ මරණයට හේතු දක්වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස්කරන ලද විශේෂඥ මණ්ඩලය පැහැදිළිවම දක්වා තිබුණා ඔවුන් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනවලට අවශ්‍ය සියලුම සාම්පල ලබාගෙන තිබෙනවා. ඒ නිසා මෙය නැවත ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති තත්ත්වයක් තමයි සඳහන් කරලා තිබුණේ.” යනුවෙන් ද රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Exit mobile version