මහනුවර තවත් මාරක ගොඩනැගිලි 14ක්… කමිටු වාර්තාව හෙළි කරයි..

මහනුවර ජනාකීර්ණ ස්ථාන වල පිහිටි තට්ටු ගොඩනැගිලි 20 කින් 14 ක්ම අවදානම් හා අධික අවදානම් ලෙස  හඳුනාගෙන ඇති බව  මහනුවර නගරයේ ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව පවතින  ගොඩනැගිලි සම්බන්ධව සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ   විසින් පත්කළ  කමිටුව  හෙළි කළේය. 

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැළසුම්)  ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ ගේ සභාපතීත්වයෙන් සමාජිකයින් 25 දෙනෙකු ගෙන් යුත් මෙම කමිටුව  අදාළ කමිටු වාර්තාව ඊයේ (12) මධ්‍යම පළාත් ආණ්ඩුාකරවරයා වෙත බාර දෙමින් මේ  බව දන්වා තිබිණි.

ආණ්ඩුකාරවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබූවෙ මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු මහනුවර අවදානම් සහිත ගොඩනැගිලි පිළිබඳ සොයා බැලීම ටය.


මහනුවර නගරයේ ජනාකීර්ණ ස්ථාන වල ඇති ගොඩනැගිලි 20 ක් සති තුනක කාලයක් විමර්ශන   කිරීමෙන් අනතුරුව කමිටුව මගින් අදාළ වාර්තාව සකස්කර තිබේ.

ඔවුන් මෙම ගොඩනැගිලි අවදානම්  සහ දැඩි අවධානම් ලෙස   වර්ගීකරණයකට ලක්කරමින් මෙම වාර්තාව සකස්කර ඇත. වාස්තු විද්‍යාව, ගොඩනැගිලි ඉදිකිරීම් රෙගුලාසි, භූ විද්‍යාත්මක සාධක, භූ තාක්ෂණ ඉංජිනේරු විද්‍යාවව, ජල හා අප ජල කළමනාකාරණය යන ක්ෂේත්‍ර පදනම් කරගනිමින් අදාළ විමර්ශන කටයුතු සිදුකළ බවත් කමිටුව පවසයි.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල පවතින හා පාසල් සිසුන් අවදානමට ලක්කරන පරිදි ඉදි වී ඇති  ගොඩනැගිලි සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කළ බව   සාමාජික පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්.අබේකොන්  පැවසුවේය. මේ ගොඩනැගිලි සම්බන්ධව කමිටුවේ නිර්දේශ ද කමිටු වර්තාව තුළ ඇති බව මහාචාර්යවරයා පැවසීය. 

මෙම කමිටු වාර්තාව සැකසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය,මහනුවර මහ නගර සභාව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මොරටුව විශ්වවිද්‍යාලය ,මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව හා සී.ඊ.සී.බී ආයතනය හා  වෙනත් අදාළ ආයතන නියෝජනය කරන භූ විද්‍යාඥයින් මෙන්ම ඉංජිනේරුවන්ගෙන්ද  සම්බන්ධ වී සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැළසුම්) ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ මහතා කමිටු වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත බාරදුන් අයුරු.

 

Exit mobile version