මව සමග නිදා සිටි අවුරුදු 4 1/2 දැරියක් අලුයම පැහැරගෙන…

පැහැර ගෙන පැය 02න් දැරිය සැකකරුත් සමග සොයා ගත්තෙ සිවිල් ආරක්ෂක භටයෙක්....

සුසන්ත අමරබන්දු –

සිය මව සමග නිවසේ නිදා සිටියදී  හොරෙන් පැහැරගත් වයස අවුරුදු  හතර හමාරක දැරියක්, එම පැහැර ගැනීමෙන් පැය දෙකක් තුළදී සොයාගෙන  අදාළ සැකකරුත් අත්අඩංගුවට ගැනීමට අද ( 23) උදෑසන පොලිසියට  හැකි වූ පුවතක් ඉඟිනියාගලින් වාර්තා වේ.
මෙලෙස පැහැර ගෙනගොස් තිබුණේ    ඉඟිනියාගල ධීවර ගම්මානයේ පදිංචි  අවුරුදු හතරයි මාස 8ක් වයසැති දැරියකි. එම දැරියගේ පියා කුරුණෑගල  ප්‍රදේශයේ රැකියාව කරනු ලබන නිසා නිවසේ සිට නැත. නිවසේ හිඳ ඇත්තේ මව සහ මේ දියණිය පමණි.
අලුයම 3.30ට පමණ මව ඇහැරී බලන විට  දියණිය ඇඳෙ නොමැති නිසා කෑ ගසමින් අසල් වැසියන්ටත් ඔවුන් මාර්ගයෙන් ඉඟිනියාගල පොලිසියටත් මේ ගැන දන්වා ඇත.  සිද්ධිය සැලවූ වහාම අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත පොලිසිය විසින් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.  අනතුරුව ඒ මොහොතේම අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක  ද සිද්ධිය වූ ස්ථානයට පොලිස්  කණ්ඩායමක් සමග පැමිණ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ ක්‍රියාත්මකවීමත් සමග මෙහෙයුම ව්‍යාප්ත වූ අතර  ඉඟිනියාගල පොලීසියට අනියුක්තව සේවය කරනු ලබන  සිවිල් ආරක්ෂක භටයෙකුට අලුයම අඳුරේ කුඩා දරුවෙක් හඬන හඬ ඇසී තිබේ. මොහොතකින් එම හඬ නතර වුවත්  සිවිල් ආරක්ෂක භටයා ඒ පිළිබඳව සෙවීම අරඹා තිබේ. ඔහු හඬ පැමිණි ප්‍රදේශය අවට සෝදිසි කරමින් යන අවස්ථාවේදී   දේවස්ථාන හන්දිය අසලින් සැකකටයුතු පුද්ගලයෙක් දැරියක් සමග ගමන් කරන දැක ඇත. වහාම ඔහුව අල්ලා දැරියත් සමග පොලිසියට භාර දෙන්නට සිවිල් ආරක්ෂක භටයා කටයුතු කර තිබේ. දැරිය මව විසින් හඳුනා ගැනිමෙන් අනතුරුව පොලිසිය සැක කරුගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත.
අදාළ සැකකරු ඉඟිනියාගල බැව් මාර්ගයේ ආසන්න ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි අයෙකි. ඔහුගේ බිරිය ද ඔහු අත්හැර ගොස් ඇත. මෙම පුද්ගලයා මේ දැරියගේ නිවසේ ජනේලයකින් නිවස තුළට අතුළු වී ඇඳේ නිදා සිටි දැරිය නින්දෙන්ම ඔසවාගෙන ඉදිරි දොර ඇරගෙන පලා ගොස් ඇතැයි හෙළි වී තිබේ. ඉන්පසු එම ආසන්නයේ තවත් නිවසකට පැන එම නිවසේ තිබූ යතුරුපැදියක් පැහැරගෙන පණගන්වා ගැනීමට උත්සාහ කළත් එයද සාර්ථක වී නැත. පසුව තවත් නිවසකට ගොස් එහි තිබුණු මාළු ඇදීමට ගන්නා ලොරි රථයක් පණ ගැන්වීමට උත්සාහ කර තිබේ. එයත් අසාර්ථක වූ පසු  පැහැරගත් දැරිය ඔසවාගෙන කිලෝමීටර් දෙකහමාරක් දුරින් පිහිටි ඔහුගේ නිවසට රැගෙන එන අතර තුරේ සිවිල් ආරක්ෂක භටයාට හසු වී තිබේ.
මේ පැහැර ගැනීම සිදුවන විට සැකකරු දැඩි ලෙස බීමත්ව සිට ඇත.  සැකකරු  අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතව තිබුණි. පැහැරගත් දැරිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අම්පාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 2 හාර සහකාර පොලිස් අධිකාරී ජයරත්නගේ මගපෙන්වීමෙන් ඉඟිනියාගල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එල්.ඒ. ගපූර්ගේ මෙහෙයවීමෙන් පො.ප. ධම්මික, උ.පො.ප.  එදිරිසිංහ යන නිලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

Exit mobile version