මන්නාරම දේවස්ථාන ප්‍රහාරය සැකයි… ටී.එන්.ඒ මන්ත්‍රී අගමැතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි…

මෙතෙක් මන්නාරම දේවස්ථාවලට පහර දුන් පුද්ගලයන් කිසිවෙක් නිවැරදිව හඳුනාගෙන නෑ...

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරමේ දේවස්ථාන හයකටම දින දෙකක් තිස්සේ ප්‍රහාර එල්ල කළ පිරිස අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් නොලැබීම ගැන සලකන විට මේ ප්‍රහාර සම්බන්ධයෙන් විශාල සැකයක් ඉස්මතුවන නිසා වහාම මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ (17) දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.

පොලිස්පතිවරයාට හා පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටද එම ලිපියේ පිටපත් යවන මන්ත්‍රීවරයා සඳහන් කොට ඇත්තේ පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම නගරයේ සැරිසරණ මන්ද බුද්ධික පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන වරද ඔහු පිට පටවා නිහඬ වීමට උත්සාහ කළත් ඔහු පොලිස් අත් අඩංගුවේ සිටියදීම තවත් දේවස්ථාන කීපයකට ප්‍රහාර එල්ල වීම නිසා ඔහුව නිදහස් කිරීමට පොලීසියට සිදු වූ බවයි.

මෙවැනි ප්‍රහාර එල්ල කිරීමෙන් මන්නාරමේ ආගමික යුද්ධයක් නිර්මාණය කොට ජනතාව අතර විශාල විරසකයක් සෑදීමට පිරිසක් උත්සහ කරණ බවට විශාල සැකයක් ඇති නිසා මේ ප්‍රහාරය එල්ල කළ පිරිස හා ඒ පිටුපස සිටින පුද්ගලයින් පිළිබදව අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයක් මත පරීක්ෂණ ආරම්භ විය යුතු බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.

මන්නාරමේ කිතුණු ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ පලමු අවස්ථාව මෙය නොවන බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා මේ දක්වා සිදු වූ එම කිසිදු ප්‍රහාරයකට සම්බන්ධ වූ පුද්ගලයින් නිවැරදිව හඳුනාගෙන අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ අපොහොසත් වී සිටින බවද අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

Exit mobile version