මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

නඩු දාපු පුද්ගලයා වරප්‍රසාද කමිටුව අභියසට කැඳවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්!

Mahinda-Yapa

පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ   පෙත්සම සම්පූර්ණයෙන්ම වැරදි නඩු කටයුත්තක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (30) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

කාතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් මතුකළ වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්  අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව පවසමින් මෙම  නීතීඥවරිය සිය පෙත්සම ගොනුකර තිබුණි.

නඩුවට  අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අද (30)  කල් ලබා දුන්නේය.


එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහට නියෝග කළේය.  පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියම කළේය.

මෙම   නඩුව සම්බන්ධව කථානායකවරයා විමසූ විපක්ෂ නායකවරයා  මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ කියැවෙන  පාර්ලිමේන්තු බලතල සහ වප්‍රසාද පනතතේ තුන්වැනි සහ හතරවැනි වගන්ති පාර්ලිමේන්තුවේ දී කියවනු ලැබුවේය.

“ පනතේ පළවෙනි  කොටසේ 03 වැනි සහ  04  වගන්තිවලට ඔබතුමාගේ  අවධානය යොමු කරනවා. 03 වැනි වගන්තියෙන් කියන්නේ භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස. පාර්ලමේන්තුවේ දී  භාෂණය අදහස් පළකිරීමේ හා විවාද කිරීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණය්  නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයක දී හෝ දෝෂාභියෝගකයට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි වන්නේය.

04  වැනි වගන්තිය අනුව –  ඇතැම් අවස්ථාවල දී මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරිය නොහැකි බව කිසිම මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයක් මුල් කරගෙන පනත් කෙටුම්පතක් යෝජනා සම්මතයක්  මෝසමක් මගින් හෝ යම් ආකරයකින් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර තිබිය හැකි යම් කරණක් හෝ දෙයක් හේතුකරගෙන හෝ ඔහු කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලට සිර භාරයට ගැනීමකට බන්ධනාගාරගත කිරීමකට හෝ අලාභවලට යටත් නොවන්නේය.”

“ඔබතුමා මේ ගැන වගකීමකින් කටයුතු කරන්න. අපේ ප්‍රධානියා ලෙස ඔබතුමා සියලුම වරප්‍රසාද සුරක්ෂා කිරීමට බැඳී ඉන්නවා. මේ වරප්‍රසාද උල්ලංඝනය කරමින් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට එරෙහිව  නඩු කටයුත්තක්   ක්‍රිියාත්මක කරලා තියනවා මේ පාර්ලිමේන්තුවෙ කළ කතාවක් සම්බන්ධව.

කතානායක – . “උසාවිය තීරණය කරලා කැමති තින්දුවක් දේවි. මේක වැරදි නඩුවක්.”

විපක්ෂ නායක – එහෙම කියන්න බෑ ඔබතුමාට.  මේක රකින්න ඔබතුමා බැඳී ඉන්නවා. මේ ගැන ඔබතුමා පැහැදිලි ප්‍රකාශයක් මේ පාර්ලිමේන්තුවට කරන්න

කතානායකවරයා – මේක වැරදි නඩුවක්.  පැහැදිලිවම එහෙම නඩුවක් පැවරිය නොහැකියි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – මේ ආකාරයට පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වලට අභියෝග කරමින් උසාවි යන්න බෑ. මේ අයව වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුවට කැඳවන්න පුලුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 කතානායක – සුදුසු පියවර ගන්නවා.

Exit mobile version