මගේ දේශපාලන අනාගතය රැකුණා… හෙට ඉඳන් මගෙ වෘත්තිය කරන්න උසාවි යනවා…

සනීපාරක්ෂක කම්කරු කමක්වත් කරන්න සුදුසුකම් නැති අය ඇමතිකම් එක්ක රටේ ආණ්ඩු කරනකොට මෙහෙම දේවල් වෙනවා...

Susil-Premajayantha

ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව තමන් දැනගත්තේ මාධ්‍යයෙන් බවත් හෙට සිට තමන් සිය වෘත්තීය රාජකාරි කිරීම සඳහා උසාවියට යන බවත්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  සුසිල් ප්‍රෙමජයන්ත අද මාධ්‍යයට පැවසුවේය.

මේ ඉවත් කිරීම ඉතාම සුබවාදී ලෙස ගන්නා බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා එය තමන්ගේ ඉදිරි දේශපාලන ජීවිතයට වටිනාකමක් එක් කර ඇති බව කීවේය.

“ මේවා ඉතින් ලොකු දේවල් නෙමෙයි.  මා ඇමතිවරයෙක් වුනේ 2000 අවුරුද්දෙ.  පාර්ලිමේන්තුවට ආපු ගමන්.  ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ මා වැඩ කරලා තියනවා. මට වෘත්තියක් තියනවනෙ. හෙට ඉඳලා එහෙ යනවා…“


මාධ්‍ය ඇසුවේ ඇමතිවරයා ඇමති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ඇමතිවරයා දැනුම්වත් කර ඇති ද කියාය.

“  නෑ… එහෙම දැනුම්වත් කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. අපි ඉවත් කළ බව දැනගන්නෙ මාධ්‍යයෙන් තමයි. ඉවත් කිරීම සඳහා හේතු දක්වන්න අවශ්‍යත් නෑ. විධායක ජනාධිපතිවරයා විදිහට බලය තියනවා ඕන කෙනෙක්ව අයින් කරන්න. ඕන කෙනෙක්ව පත් කරන්න.“

ඉවත් කිරීමට පාදකවන අනුමාන හේතුවත් රාජ්‍ය ඇමතිවරයා කීවේය.

“පෙරේදා මා පොළේ ගියාම ඔබතුමාලගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් මිල ගැන. මිරිස් කිලෝවක් 1200යි කියලා කිව්වා. මම කිව්වා සම්පූර්ණයෙන්ම කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුත් ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමයි අපි කතා කළේ“

මින් පෙරත් ඇමතිවරු, කැබින්ට් ඇමතිවරු පවා රජය විවේචනය කර තිබිනි. එහෙත් ඉවත් කළේ රාජ්‍ය ඇමති සුසිල්ව පමණි.  ඔහු ඒ ගැන දරන්නෙ මෙවැනි අදහසකි.

“මා විශ්වාස කරනවා ඊයෙ කැබිනට් රැස්වීමෙදි මොනවා හරි කතාවෙන්න ඇති කියලා. පාර්ලිමේන්තුව වගකීම් භාර දීලා තියනවනෙ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නෑ අධ්‍යාපනයේ වටිනාකම.“

ඇමතිවරයා තවදුරටත් කීවේ  මේ රට කරවන හැටියට පුදුම විය යුත්තේ තමන් ඇමතිකමින් ඉවත් කිරීම වැනි  තීන්දුවක් නොගත්තා නම් බවය. වෙච්ච දේ තමන්ගේ දේශපාලන අනාගතයට යහපත් බවය.

රටේ වැඩපිළිවෙළ යන හැටියට, ආර්ථික කටයුතු මෙහෙයවන හැටියට, රට යන්නේ කොතැනට ද යන්න පැහැදිලි බවත්,  ජනතාව වෙනුවෙන් කතා කළ නොහැකිනම් ආණ්ඩුවකට නිවැරදි විය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

අනිවාර්යයෙන්ම දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් එන අයුරු කී ඇමතිවයා ප්‍රකාශ කළේ  තමන් දේශපාලනයේ අතපල්ලෙන් වැටී නැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරන්නට බැරි නම් යන්න කී සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමති පට්ටම අහිමි වෙයි!

Exit mobile version