බෝගම්බර රැඳවියන් හා නිලධාරීන් අනාරක්ෂිත කළ තීන්දුව නිසා රැඳවියන් තවමත් වහල මත…

බෝගම්බර පරණ බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන කඳවුරේ රැඳවියන් 30 දෙනෙකු සදහා කළ පී.සී.ආර්. පරීක්ෂණ 30කින් 27ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමග බන්ධනාගාර මූලස්ථානයේ නියෝගය මත පී.සී.ආර් පරීක්ෂණ නැවැත්වීමත් සමග බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයේ වහල මත නැග උද්ඝෝෂණය ආරම්භ කළ බව බෝගම්බර බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

බෝගම්බර පවත්වාගෙන ගියේ සියලුම බන්ධනාගාරවලින් නිරෝධායනයට ලක් කළ යුතු පිරිස් රැස් කර තැබූ බන්ධනාගාර නිරෝධායන කඳවුරකි. මේ කඳවුරේ දැනට 700කට ආසන්න රැඳවියන් පිරිසක් සිටිති. ඔවුන්ට බාහිර සමාජය සමග කිසිම සම්බන්ධකමක් නැතිවා සේම මෙම කඳවුර පවත්වාගෙන යන්නේ ඉතාම අඩු පහසුකම් යටතේ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කඳවුර තුළ ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වන්නේ ඒ අතරය. ඉන් අනතුරුව පෙරේදා අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 30කින් 27ක් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇත. ඉන් අනතුරුව බන්ධනාගාර අධිකාරිය ඉදිරියට මෙම පරීක්ෂණ කරගෙන යෑම අත්හිටුවා තිබේ.


මෙය සැලවීමත් සමග උද්ඝෝෂණයක යෙදුණු රැඳවියන් කියා සිටියේ තමන්ට පී.සී.ආර් පරීක්ෂණ කර රෝගීන් නම් ප්‍රතිකර මධ්‍යස්ථානවලට යොමු කරන ලෙසය. තමන්ගේ ජීවිත අනතුරේ නොහෙළන ලෙසය.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ තමන් රාජකාරියේ යොදවා ඇත්තේ ඉතාම අනාරක්ෂිතව බවය. ඊයේ ආසාදිත බව තහවුරු කළ කොවිඩ් රෝගීන් 27 දෙනා කන්දකාඩු වෙත ප්‍රවාහන කරන්නට විවෘත බස් රථයක් වෙන් කර ඒ සඳහා රියදුරෙක් හා නිලධාරියෙක් නම් කර තිබුණේ කිසිම සෞඛ්‍ය විධි විධානයකින් තොරව බව කී ඔවුන් ඒ අවදානම් ගමන ප්‍රතික්ෂේප කළ රියදුරුට හා බන්ධනාගාර නියාමකට අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට නියම කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

“ නිලධාරීන්ට වගේම මේ රැඳිවියන්ටත් මූලස්ථානය සලකන්නෙ ඉතාම අකාරුණික විදිහට. ඔවුන් සියලු දෙනාම ඉන්නෙ අනතුරක..“ ඔවුහු වැඩිදුරටත් කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට කඳවුරේ රැඳවියන්ගෙන් 200ක් පමණ වෙන තැනක් වෙත රැගෙන යෑමට සැලසුම් කර තිබේ. එම ස්ථානය කොතැන දැයි තවම නිගමනයක් නැතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Exit mobile version