බොරැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වැනිදා විවෘත කෙරේ.

නිවාස 608 ක්.... විවෘත කිරීම අගමැති තුමා අතින්.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් 05 දා සඳදා පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතය.

නිදන කාමර 3 කින් සමන්විත නිවාස 304 කින් සහ නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කින් යුතු මෙම මහල් නිවාස සංකීර්ණයේ සමස්ථ නිවාස ප්‍රමාණය 608කි. මෙහි එක් නිවාස වර්ගයක් වර්ග අඩි 680 ක් වන අතර අනෙක් නිවාස වර්ගය වර්ග අඩි 880 ක් වේ. වනාතමුල්ලේ පිහිටි පී. සරණමුත්තු ක්‍රීඩාංගනය (ඕවල්) අසලම මෙම නිවාස සංකීර්ණය ඉදි කර තිබේ.

රථ ගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායම් මධ්‍යස්ථාන 2 ක්, වෙළෙඳ සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින්  සමන්විත  මෙම  අංග සම්පූර්ණ   මහල් නිවාස සංකීර්ණය තට්ටු 25 කින් සමන්විතය.


පෙර විකුණුම් පදනම මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608 ම මේ වන විට විකිණී අවසන්වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ වැ..බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත   ප්‍රකාශ කළේය.

වසර 15 ක් වසර 20 ක් රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන් සහ සේවකයින් මෙම නිවාස මිලදීගෙන ඇති බවත් ඔවුන්  සහන ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් ද සමඟින් මෙම නිවාස ලබා ගෙන තිබෙන බවත් වැ.බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා කීවේය.

සමස්ථ ව්‍යාපෘතිය සඳහා මූලික ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 5500 ක් විය.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වසර 1 1/2 ක පමණ ප්‍රමාදයක් මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමේ දී සිදු වූ අතර අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව පසුගිය දිනවල ඉදිකිරීමේ කටයුතු කඩිනම් කළ බව නාගරික සංවර්ධන අධිකාරිය කීවේය.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කළේ වර්තමාන ජනාධිපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ සංකල්පයක් අනුවය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා සහ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීරගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මහල් නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු අවසන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම රාජ්‍ය මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ හා තදාසන්න නගරයන්හි හා රටේ හඳුනාගත් නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි වසර 05 ක කාල සීමාව තුළ තවත් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමේ වැඩසටහනට මේ වන විට පියවර තබා ඇත.

Exit mobile version