“බුරවි“ දිවයිනට ලං වෙමින් … මුහුණ දෙන අයුරු ගැන ආපදා කළමනාකරණය සැලසුම් කරයි..

තුෂාරී කළුබෝවිල –

නිරිතදිග බෙංගාලයේ බොක්කේ හටගෙන ඇති “බුරාවි” නම් සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 330ක් ආසන්න ව නැගෙනහිරට බර ව ස්ථාන ගත ව පවතී.

එහි බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම හා සබරගමුව යන පළාත්වල ස්ථාන බොහෝමයක මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවට කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර ඇත.

“බුරවි” සුළි කුණාටුව දිවයින හරහා මන්නාරම් බොක්ක දෙසට ගමන් කළ හැකි බැවින් ඒ ආශ්‍රිත ව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 85-95 ඉක්මවිය හැකි බවට අනතුරු ඇඟවේ.


කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සිට පොතුවිල් වටා මුහුදු රළ මීටර් 3ක් පමණ ඉහළ යන අතර සුළං සමඟ උස් වන මුහුදු රළ ගොඩබිම දෙසට පැමිණෙනු ඇත.

මෙම මුහුදු ප්‍රදේශවල අවදානම් සහිත ස්ථානවල ජනතාවට මේ වනවිටත් අනතුරුව ඇඟවීම් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් වහාම ජනතාව අවදානම් ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

එසේ ම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන හා අවශ්‍ය තරම් බෝට්ටු ආදිය ද ලබා දී ඇතැයි ද ඒ මහතා කීවේ ය.

මෙම සුළි කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු දැනට දින හතරක සිට නවතා දැමීමට පියවර ගත් බව ද හෙතෙම පැවසීය.

එසේ ම නැගෙනහිර පළාතේ සියලු ම පාසල් මේ තත්ත්වය හේතුවෙන් තාවකාලික ව වසා දමා ඇත.

අවශ්‍ය වුවහොත් හදිසි ආපදා තත්ත්වයක් යටතේ අදාළ ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලවල මැදිහත් වීමෙන් සිදු කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද සවස වනවිට දැනට පවතින වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බැවින් ජනතාව ඒ පිළබඳ විමසිලිමත් ව සිටින ලෙස ද කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Exit mobile version