“බුද්ධි තොරතුරක්” යැයි කී තොරතුරක් කොළඹ කලබල කරයි…

නිශ්චිත නොවන බුද්ධි තොරතුරු මත කොළඹ ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ආරක්ෂාව තර කිරීමට මූලික හේතුව වී ඇත්තේ ඊයේ (12) රාත්‍රියේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට අදාල තොරතුරක් වැරදි ලෙස ඇගයීමෙන් බව දැනගන්නට ඇත.

ඊයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා රාත්‍රී ආහාරය 2000කට පමණ ඇනවුම් කිරීම මෙම තිගැස්මට හේතුව වී ඇතැයි වාර්තා වී තිබේ.

මෙම ආහාර ඇනවුම සම්බන්ධව නිවැරදි නොවන ඇගයීමක් කර කොළඹ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන සංවිධානාත්මක යමක් සිදුවෙමින් ඇතැයි පොලිසියේ ඉහළ නිලධාරීන්ට ලබා දුන් බුද්ධි තොරතුරක් පදනම් කරගෙන මෙසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි දැනගන්නට ඇත.

රාජ්‍ය බැංකු, කොළඹ නිදහස් චතුරශ්‍රය, කොල්ලුපිටිය මංසන්ධිය අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය,  ජනාධිපති ලේකම් කාර්යාලය, සහ කොළඹ විශ්වවිද්‍යාලය අවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබිණි.


පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව ද කැඳවා ආරක්ෂාව තහවුරු කර තිබිණි.

මේ අතර විවිධ කටකතා ද පැතිරී ගියේය.  මහින්ද රාජපක්ෂ අගමැති ධූරයේ දිවුරුම් දිමට සූදානම් බවත්, රට පෙරළන කුමන්ත්‍රණයක් දියත් වී ඇති බවත් ඒ අතර කියැවිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියලුම දේ සිදුවෙමින් තිබෙද්දී පොලිස් මූලස්ථානය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊයේ සවස 06 සිට 15 දා සවස 06 වනතුරු දීප ව්‍යාප්තව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවය.

Exit mobile version