බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

ලිංගිකව සම්ප්‍රේක්ෂණයවන රෝග නිවාරණය මුළුමනින්ම ඇන හිටලා... අනාගතය භයානක බව වෛද්‍යවරු කියති...

කීර්ති ප්‍රනාන්දු –

බිඳ වැටෙන ආර්ථිකයත් සමග ලෝකයේ බොහෝ රටවල සිදුවන ආකාරයෙන්  ලංකාව තුළ ද ලිංගික  ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වෙමින් ඇති බවත් එහි නියත ප්‍රතිඵල අනාගතයේ දී ලැබෙනු ඇත්තේ  ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග වැඩිවීමෙන් බවත් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති හා මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකාවේ ලිංගික සෞඛ්‍යය සහ එච්.අයි.වී.  පිළිබඳ  විද්‍යාර්ථයින්ගේ සංගමයේ  හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ ලංකාසරට පැවසීය.

ආර්ථිකය බිඳවැටීමත් සමග ඕනෑම රටක ඇතිවන මේ තත්ත්වයේ මූලික ස්වරූප මේ වනවිට ප්‍රකට වෙමින් ඇති බව කියන විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ තවම මේ ගැටලුව පිළිබඳ විධිමත් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්  සිදුවෙමින් නැති බවය.

ආර්ථික දරිද්‍රතාවය හේතුවෙන් වයස අවුරුදු 14  සිට මැදි වයස දක්වා කාන්තාවන් ලිංගික ශ්‍රමය විකිණීමට  පෙළඹී ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි ඔහු කියයි.

කොළඹ සහ තදාසන්න නගරවල මේ තත්ත්වය කැපී පෙනෙන අයුරින් වැඩි වී ඇති බව කියන විශේෂඥ වෛද්‍යවරයා  ඉන් සිදුවී ඇත්තේ ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග බෝවීමේ අවදානම ඉහළ යෑම බවය.


විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මෙසේ ද පැවසීය.

“ මා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලැක්වීම සඳහා පර්යේෂණ කරමින්  ක්ෂේත්‍රය තුළ  ක්‍රියාකාරීවන  වෛද්‍ය වෘත්තිකයෙක්.

“අපේ  අරමුණ මේ  ලිංගික ශ්‍රමිකයන්ගෙන් හරහා බෝවන ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග අවම කිරීම. ඔවුන්ට එම ලිංගික ශ්‍රමය සපයන වෘත්තියෙන් ඉවත් වෙන්න කියන්න අපට බෑ. අපට පුලුවන්  ලිංගිකව බෝ වන රෝගවලින්  ආරක්ෂාකාරී  වීමට  අවශ්‍ය  උපදෙස් සහ දැනුම්වත් කිරීම් කිරීමයි.   ලිංගිකව රෝග සම්ප්‍රේක්ෂණය වීම වළක්වා ගැනීමට කොණ්ඩම් වැනි දේ ලබා දීම.  මේක විධිමත්ව ක්‍රියාත්මක වෙච්චි වැඩසටහනක්.  අපේ අරමුණ වුනේ  2025 වනවිට ලංකාවෙන් එච්.අයි.වී ඒඩ්ස් නිසා ඇතිවන සංකූලතා තුරන් කිරීම.

නමුත් දැන් ඒ ඉලක්ක ගිලිහිලා. ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන්  එච්.අයි.වී ටෙස්ට් කරගන්න අවශ්‍ය පර්යේෂණ  සීමා වෙලා. දැනුම්වත් කිරීම් කරන්න ක්ෂේත්‍රයට යන්න තියන ඉඩකඩ ඇහිරිලා.  ඒ වගේම  මිනිස්සුන්ගේ ආතතිය ඉහළයි. ආර්ථිකව ගිලිහෙන මිනිස්සු ජීවත්වෙන්න මාර්ග හොයනවා.  මහ දවල් නරග මාධ්‍යයේ ත්‍රිවිල් තුළ ලිංගික ශ්‍රමය විකුණන ගැහැණුන්, තරුණියන් පසුගිය වකවානුවේ වැඩි වී ඇති අයුරු අපට නිරීක්ෂණය වෙනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියල්ලෙහිම ප්‍රතිඵලය ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග ඉහළ යෑම.  මුලින් කී ආකාරයට නිවාරණ වැඩපිළිවෙල සම්පූර්ණයන්ම වාගෙ බිඳ වැටීමක් එක්ක අපටත් දැන් මේ අර්බුදයේ සැබෑ ගැඹුර පෙනෙන්නෙ නෑ.  ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ සහ පර්යේෂණ වලට අවශ්‍ය ද්‍රව්‍ය ලෝකයෙන්  ආධාර ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් ඒවා ලැබෙන දිනයක් නෑ.

 

 

 

 

Exit mobile version