බැසිල් ඉන්දීය විදේශ ඇමති සමග කතාවක – මිලියන 400ක් සමඟ ඩොලර් බිලියන 1.5ක ණය යෝජනා ක්‍රමයක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජේ ජයශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මුදල් අමාත්‍යවරයාට කලින් පොරොන්දු වූ මූල්‍ය සහන ලබාදීමට අදාළ පියවර ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව සාර්ක් මුදල් හුවමාරු (swap) විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවට අමරිකානු ඩොලර් මිලියන 400ක් ලබා දීමට එකඟතාවය පළකර ඇති අතර පවතින ඩොලර් මිලියන 512ක ණයක් පියවීම සඳහා තවත් මාස දෙකක කාලයක් ලබා ලබා දීමට එකඟතාවය පළ කර ඇත.

මීට අමතරව රුපියල් බිලියනයක් වටිනා ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා ණය සහන යෝජනා ක්‍රමයක්ද ඉන්දියාවෙන් ඉන්ධන ගෙන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය සහනයක්ද ලබා දීමට සඳහා ද දැනට කරගෙන යන කටයුතුවල ප්‍රගතිය මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.


මෙම හමුවේ දී covid වසංගතයෙන් එල්ල වන ආර්ථික හා අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරකින්ම සහාය වන බව විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් ප්‍රකාශ කර ඇති බව ද දෙපාර්ශවයම ආර්ථික සම්බන්ධතා වලින් වාසි ලබාගත යුතු බව ද අවධාරණය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

එසේම ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා සහ රජයට ලංකාවේ ජනතාවට 2022 වසර සඳහා සුභ පැතූ අතර හින්දු භක්තිකයන්ගේ පොංගල් උත්සවය නිමිත්තෙන් ද සුභ පැතුම් පිරිනැමූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව සමග ඉන්දියාවේ දීර්ඝකාලීන සහයෝගීතාවය පිළිබඳව එහිදී සිහිපත් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී වරාය යටිතල පහසුකම් බලශක්ති පුනර්ජනනීය බලශක්තිය සහ නිෂ්පාදනය ආදී වැදගත් ක්ෂේත්‍ර ගණනාවක ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධව ශ්‍රී ලංකා රජය මෑතකාලීනව ගෙන ඇති පියවර ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය නැංවීමට අමතරව ආයෝජකයන්ගේ විශ්වාසය නංවන වැඩපිළිවෙළක් බව ද අමාත්‍යවරුන් දෙදෙනාම සඳහන් කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version