බයික් හොරෙක් කියා  අහිංසකයකු එල්ලූ පොලිසියේ දෙන්නාට ලක්ෂ 10ක්  ගෙවන්න වෙයි!

යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදවා  අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධ හිංසා පැමිණවීමෙන් සිදුවූ තුවාලවලට වන්දි වශයෙන් රුපියල් දස ලක්ෂයක   ගෙවන ලෙස අනුරාධපුර පරිවාර අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්  නියෝග කරනු ලැබ  ඇත.

විනිසුරු විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ එස් තුරේයිරාජා   විසින්  ලබා දුන් මෙම තීන්දුව  ප්‍රකාශයට පත් කළ    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් සැලකීමට පොලිස් නිලධාරීන් බැඳී සිටින බවත්   මහජනතාව සමඟ කටයුතු කිරීමේ දී පොලිස් නිලධාරීන් සෑම විටම පොදු ආචාරශීලී බවින්   කටයුතු කිරීම  බලාපොරොත්තුවන බවත් ප්‍රකාශ කළ බව ඩේලි මිරර් පුවත්පතට ලක්මාල් සූරියගොඩ වාර්තා කරයි. .

නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම යන රාජකාරීන්හි නියුතු පොලිස් නිලධාරින්ට මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීම, ආරක්‍ෂා කිරීම හා ඉදිරියට ගෙන යාම සඳහා ඉහළම වගකීමක් පැවරී ඇති බව ද  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ තහවුරු කර ඇති බවද එම පුවත් වාර්තාව තවදුරටත් දක්වයි.


මෙම වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා ලද  පොලිස් සැරයන් විජේසිංහ සහ කොස්තාපල් වන්නිනායක සම්බන්ධයෙන් වධහිංසාවට එරෙහි සම්මුතියේ 2(4) වගන්තිය සහ 1994 අංක 22 දරන කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් පනත උල්ලංඝනය යටතේ  අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබු හෙයින් මෙම සිදුවීම මඟින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමට රජය වගකිව යුතු නැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුවේ සඳහන් කර ඇත.

මෙම තීන්දුවට මුල් වූ අගතියට පත් පෙත්සම්කරුවන්නේ මිහින්තලේ පදිංචි ගුරුසිංහ සෙනවිරත්නගේ තරිඳු ප්‍රියන් අකලංක ය.

2017 සැප්තැම්බර් මස 20 වන දින අනුරාධපුර, සංචාරක අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු යතුරු පැදි සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින හතරක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන  ඇති අතර  එම කාලය තුළ තමාට වධහිංසා පැමිණවීම, මාංචු දැමීම, තේක්ක ගසක ලණුවකින් එල්ලීම, පහරදීම වැනි අමානුෂික සැලකිලිවලට ලක්වූ බව පෙත්සම්කරු පවසයි.

අනුරාධපුර පරිවාර අපරාධ විමර්ශන ඒකකය මගින් පෙත්සම්කරු මුදා හැරීමෙන් පසු පෙත්සම්කරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පෙත්සම්කරු ප්‍රතිකාර ලබා දින 12 කට පසු පිටව ගොස් ඇත. සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් නියම සැකකරු පසුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉහත සඳහන් සිද්ධියට පටහැනිව වගඋත්තරකරුවන් ඉදිරිපත් කරන්නේ පෙත්සම්කරු අරගල කර පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බවත්,  එහිදී පෙත්සම්කරුට තුවාල සිදු වූ බවත් ඔහු  වැටකින් පැනීමට උත්සාහ කළ බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනිසුරු තුරෙයිරාජා ප්‍රකාශ කළේ අධිකරණයට ඉදිරිපත් කරන ලද ස්නායු කායික විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද MLR වාර්තාව සහ අනෙක් වෛද්‍ය වාර්තා මගින් මෙම කාරණය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය නොව පෙත්සම්කරුගේ ස්ථාවරය තහවුරු කිරීමට සහය දක්වන බව තමාගේ අදහස බවය.

Exit mobile version