බද්දකට වංගු ගසා ජාතියක් ආදාහනය කරන හැටි…

මේ මොහොත වනවිට  අධි උද්ධමනය   හාල් හුණ්ඩුවට ලූනු බිකටත්  බද්දක් සේ ක්‍රියාත්මක වෙමින් ඇත. මෑත ඉතිහාසයේ අප අත්දැක නැති ආකරයට රට හාමත් වී  තිබේ.  නිශ්පාදන ආර්ථිකය බිඳ වැටුණු මොහොතක ඩොලර් තබා රුපියල් ද නැත.  එහෙත් මේ සියල්ල සිදුවන්නේ අය කරගත හැකි ක්ෂේත්‍රවල බදු පැහැර හැරීමේ නින්දා සහගත වංචාව ආණ්ඩුව විසින් කර ඇති පසුබිමකය.

cigarette

උදාහරණය සිගරට් බද්දය. සිගරට්ටුවෙන් සාධාරණ බද්දක් බැසිල් රාජපක්ෂ 2022 සඳහා ඉදිරිපත් කළ අයවැයෙන්  අය කළේ නැත. එය සම්බන්ධව බරපතල විවේචනයක් රටතුළ මතුවූයේය. ඒ බද්දට වංගු ගැසීම පසුපස මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් ඇමතිවරයා ගැසූ ඩීල් එක්ක ගැනය.

නව අගමැතිවරයා දැන් මාසයකට වඩා පරණය.   මුදල් ඇමතිත් ඔහුය. අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවට රටට පොරොන්දු වූ  අගමැතිවරයාගේ වගකීම මේ ඩීල් ගසා පැහැර හැරි බදු ක්ෂේත්‍ර විවර කර ජාතික ධනය කොල්ල කෑම වැළැක්වීමය.   එය කළ යුත්තේ  රටට ආර්ථික ප්‍රතිලාභයක් පමණක්  අපේක්ෂාවෙන් නොව, ඖෂධ හිඟයත් සමග ඇති වී ඇති බරපතල සෞඛ්‍ය ප්‍රශ්නය තවත් උග්‍ර කරන දුම් පානය මේ මොහොතේවත් පාලනය කර ගැනීම ජාතික වගකීමක් ලෙස මතු වී ඇති නිසාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව  දුම්කොළ බදු යනු  තරුණයින් සහ අඩු ආදායම්ලාභීන් අතර දුම්කොල භාවිතය අඩුකර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්  කිරීම සඳහාත්,      සෞඛ්‍ය සේවා පිරිවැය අඩු කිරීම සඳහාත් යොදා ගත හැකි  වඩාත්ම ලාභදායී ක්‍රමය ය.


දුම්කොළ බද්ද  බොහෝ රටවල ආදායම වැඩි කරයි.   දුම්කොළ මිල 10% කින් ඉහළ යාමෙන් ඉහළ ආදායම් ලබන රටවල දුම්කොළ පරිභෝජනය 4% කින් සහ අඩු වන බවත්  මධ්‍යම ආදායම් ලබන රටවල 5% කින්  අඩුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව   දුම්කොළ එහි භාවිතා කරන්නන්ගෙන් අඩක් පමණ මරා දමයි.

දුම්කොළ නිසා සෑම වසරකම ලෝ පුරා මිනිස්සු  මිලියන 8 කට වඩා මිය යති. එම මරණවලින් මිලියන 7කට වැඩි ප්‍රමාණයක් සෘජු දුම්කොළ භාවිතය නිසා සිදුවන මරණය. මිලියන 1.2ක් පමණ  අක්‍රීය දුම් පානය නිසා සිදුවන මරණය. ඒ අසරණයින් දුම් බොන්නේ නැත. උන් අසල සිට දුම්බොන්නන් නිසා ඒ මිනිස්සු සිය ජීවිතයෙන් වන්දි ගෙවති.

ලෝකයේ දුම්කොළ භාවිත කරන්නන් බිලියන 1.3 න් 80% කට වඩා ජීවත් වන්නේ අපේ රට වැනි  අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ය. අපට එය ප්‍රශ්නයක් වන්නේ එබැවිනි.

2020 දී, ගෝලීය ජනගහනයෙන් 22.3% ක් දුම්කොළ භාවිතා කළහ. ලෝකයේ  සියලුම පිරිමින්ගෙන් 36.7% ක් දුම් බොන්නන්ය.    ලෝකයේ කාන්තාවන්ගෙන් 7.8% ක් දුම් බොති. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ දුම්කොල විෂයෙහි සාධාරණ බද්දක් අය කිරීම රටේ ආර්ථිකයට දෙවදෑරම් ලෙස ඵලදායී වන බවය. එක් අංශයකින් ජාතික ආර්ථිකය බදු මුදලින් පෝෂණය වීමය.  අනෙක් පැත්තෙන් සෞඛ්‍ය පිරිවැය අඩු වීමය.

මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මේ සම්බන්ධව අප හා සංවාදයකට එක් වෙමින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නේය. ඔහු කරන සංවාද සටහන පහත දැක්වේ.

නමුත් ඔබ දන්නවාද සිගරට් බීම නැතුවම බැරි කරන, බොන සිගරට් ප්‍රමාණය වැඩි කරමින් ඇබ්බැහිකරවන, රසායන ද්‍රව්‍යයන් ඒකෙ තියෙන බව ?.  සිගරට් බොන්න පුරුදුවෙලා, ඒක නැතුවම බැරි විදියට ඇබ්බැහි වුණ අයට, සාමාන්‍ය විදියට ඉන්න ලේ වල එක්තරා මට්ටමකට ”නිකොටින් ” තියෙන්නම ඕනෙ. නැත්නම් කෑවෙ බිව්වේ නෑ වගේ. ”මූඩ්” එකත් ටිකක් ”අප්සෙට්” වගේ. නිකොටින් සුලු ප්‍රමාණයක්, මාත්‍රාවක් ගත්තාම මොළය ටිකක් කුල්මත් වෙනවා. උත්තේජනයක් ඇතිවෙනවා. නමුත් විශාල ප්‍රමාණයක් ගත්තාම මත්වීමක්, නිදිබර ගතියක් දැනෙනවා. මෙයින් ස්නායු සෛල අතර ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා, හදවතේ, රුධිර ධමනී සහ හෝමොනවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙලා, මාරක ප්‍රතිවිපාක අත්විඳින්න පුලුවන්. නිකොටින් ලේ වල අඩංගුවීමෙන් දුම්බොන්නා ”තැන්පත් – කූල්” මිනිහෙක් වගේ පෙනුනට, නොදැනීම ශරීරයට දරුණු හානියක්  සිදුවෙනවා.

සිගරට් බොන-නොබොන කවුරුත් දැනගෙන හිටියාද සිගරට් දුමේ පිළිකා සෑදෙන විෂ රසායන ද්‍රව්‍ය 43ක් ඇතුලුව, 4000කට වැඩි විෂ රසායනික (carcinogens) ද්‍රව්‍ය අංශු රැසක් තිබෙන බව.

ඒ පිළිබඳ තොරතුරු ගැන අවධානය යොමු කරමු

තාර – මෙය දුම්බීම නිසා අප ශරීරයට ඇතුලුවන තහනම් අපද්‍රව්‍ය, අංශු කොටස්, සඳහා භාවිතා කරන පොදු වචනයක්. මෙම අපද්‍රව්‍යවල පිළිකා සෑදීමට හේතුවන පිළිකා කාරක වන කාසිනෝජන්ස් (carcinogens) ඇතුලු බොහෝ විෂ රසායන ද්‍රව්‍ය අඩංගුවෙයි. තාර ඇලෙන සුළු දෙයක්. එමගින් දත්වල, නියපොතුවල සහ  පෙනහලු පටකවල දුඹුරු වර්ණයෙන් පැල්ලම් ඇතිකරයි. තාර වල පිළිකා කාරක ”කාර්සිනොජන් benzo pyrene” වැඩියෙන් අඩංගු වෙනවා .

කාබන් මොනොක්සයිඩ්Carbon Monoxide- මෙය ඔබේ ලේවල ඇති ඔක්සිජන් වායුවේ තැන උදුරාගන්නා කිසිම ගන්ධයක් නොමැති මරණීය වායුවක්. ඔක්සිජන් අංශු ඔබේ ශරීරය පුරාම ගෙනයන්නේ, සෑම රතු රුධිරානුවකම අඩංගුවන හිමොග්ලොබින් නැමති ප්‍රෝටීනය මගිනුයි. නමුත් කාබන් මොනොක්සයිඩ්, ඔක්සිජන් වඩා හොඳින් හිමොග්ලොබින් සමග බැ‍ඳෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගෙනයාමට රතු රුධිර සෛල බොහෝ අවශ්‍ය වෙනවා. රතු රුධිර සෛල වැඩිවීම නිසාම රුධිරයේ ඝණත්වයත් වැඩිවෙයි. එයින් අදහස් කරන්නෙ, ශරීරයට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍යවන ව්‍යායාම කරන අවස්ථාවල, මොළයට, හෘදයවස්තුවට, මාංශ පේශී හා අනෙකුත් ශරීර අවයවයන්ට ප්‍රමාණවත් පමණින් ඔක්සිජන් ලැබෙන්නෙ නැහැ කියන එකයි.

හයිඩ්රජන් සයනයිඩ්Hydrogen Cyanide –  පිටතින් ඇතුලුවන අපද්‍රව්‍ය රඳවාගෙන සුද්ද පවිත්‍ර කරන සිහින් කෙස් වැනි දෙයක් පෙනහලුවල තිබෙනවා. හයිඩ්රජන් සයනයිඩ් පෙනහලු පිරිසිදු කරන මෙම කාර්යාවලිය මැනවින් සිදුවීම නතර කරයි. ඒ කියන්නේ දුම්බීමේදී ඇතුලුවන විෂ සහිත රසායනික ද්‍රව්‍ය පෙනහලු තුළ තැන්පත්ව වර්ධනය විය හැකි බවයි. දුම්බීමෙන් පෙනහලු වලට හානි සිදුවන අනෙකුත් රසායන දුව්‍ය නම්, හයිඩ්රොකාබන් වර්ග, නයිට්රස් ඔක්සයිඩ් වර්ග, ඕගනික් අම්ල, කාබොලික් අම්ල හා ඔක්සිකාරකයි.

ඔක්සිකාරක රසායන ද්‍රව්‍ය – Oxidizing Chemicals – ඉතාම ප්‍රචන්ඩ ලෙස (ත්‍රස්තවාදින් මෙන්) ප්‍රතික්‍රියා කරන මෙම රසායනික ද්‍රව්‍යයන් මගින් හදවතේ මාංශ පේශී හා රුධිර නාලවලට හානි සිදුවිය හැකියි. එම රසායන ද්‍රව්‍යයන් කොලෙස්ටරෝල් සමඟ සහයෝගයෙන් ක්‍රියාකර, රුධිර ධමනි නාලවල බිත්ති ඇතුළත මේද තට්ටු වර්ධනය කරයි. මේ නිසා හෘද රෝග, ”හාට් ඇටෑක්” (ආඝාතය) සහ රුධිර නාල රෝග ආදිය ඇතිවෙයි.

 ලෝහ – Metals- උරන සිගරට්ටුවක ආසනික්, කැඩ්මියම් සහ ඊයම් ඇතුළු භයානක ලෝහ වර්ග අඩංගු වෙයි. මෙම ලෝහ කිහිපයක්ම පිළිකාකාරක ලෝහයන්ය.

විකිරණශීලි සංයෝග – Radioactive Compounds- කාර්සිනෝජෙනික් වශයෙන් හඳුන්වනු ලබන, විකිරණශීලී පිළිකාකාරක සංයෝග සිගරට් දුමාරයේ අඩංගු වෙනවා.

සිගරට් එකක් බොන විට, පෙනහලු කරා ඇතුලුවන තාර ප්‍රමාණය වැඩිවෙයි. ඔබ දැනගත යුතුම දේ තමයි, සිගරට්ටුවක් උරන පළමු හුස්මේදී ඇතුල්වන තාර ප්‍රමාණයට, දෙගුණයකටත් වඩා වැඩි තාර ප්‍රමාණයක් අවසන් සිගරට් හුස්මේදී පෙනහැල්ලට ඇතුලුවන බව. සිගරට් බීමෙන් ඇතුලුවන රසායන ද්‍රව්‍ය බොහොමයක් පෙනහලු තුළම තැන්පත් වෙයි. මෙයින් හැ‍ඟෙන්නේ ඔබ වැඩි වැඩියෙන් සිගරට් බීමෙන්, පෙනහලුවලට සිදුවෙන හානිය ඉතාම වැඩිවන බවයි.

දැන් ඔබ තේරුම්ගත යුතු එකම දේ මෙපමණයි. දුම්පානය – සිගරට් බීම – ඔබේ ශරීරයේ හැම ඉන්ද්‍රියකටම අහිතකර ලෙස බලපානවා. දැන්වත් දුම්පානයෙන් මිදීමට, එය නැවැත්වීමට ප්‍රමාද වැඩි නැහැ.

කවුරුවත්ම අතින් අල්ලලා දුම්පානය නතර කරන්නේ නෑ කියලා ඔබට කියන්නේ නෑ.  වගකිවයුතු රජයක් විදිහට සිගරට් බදු මුදල් වැඩි කරලා සිගරැට්ටුවක් මිලදී ගන්න තියෙන පසුබිම අවම කරන්න වත් කටයුතු කරන්නේ නෑ .

මේ ගැන හොඳින් හිතන්න තමන්ගේ ජීවිතය තමන්ටත් වඩා තමන්ගේ සමීපතමයන්ට වටිනා බව පමණක් සිතට ගන්න.

(මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ සමග කළ සංවාදයක් ඇසුරිනි)

කියවන්න..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිගරැට් බද්ද අන්තර්කාලීන අයවැයෙන් නිවැරදි වෙයි ද? – සිගරැට්ටුවකින් තීරණය වන ආණ්ඩුවේ අවංකකම!

Exit mobile version