බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ සුනඛයින් 15ක් වස එන්නත් කර මරලා…

සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයකින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්...

Dogs

කීර්ති ප්‍රනාන්දු – 

බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා භූමියේ  කාලයක පටන් ජීවත්වන සුනඛයින් 15කුට වස එන්නත් කර මරා දමා ඇතැයි සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක්  විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම සංවිධානය සිදු කර ඇති පැමිණිල්ල සත්ත්ව ආරක්ෂණ හා සුභසාධන පනත යටතේ සිදු කර ඇති බව පොලිසිය වැඩි දුරටත් කියයි.

මෙම සත්ත්ව විහිංසාවාදී සංවිධානය පොලිසියට පැමිණිලි කර ඇත්තේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ උසස් නිලධාරියෙකුගේ අනුදැනුම මත මෙම සුනඛ ඝාතනය සිදු කර ඇති බවය.


මෙම සුනඛයින් 15 දෙනාට වස එන්නත් කර මරා දැමීමට රුපියල් එක් ලක්ෂ හතලිස් දහසක මුදලක් එම උසස් නිලධාරියා විසින් කොන්ත්‍රාත් කරුවෙකුට ලබා දී ඇතැයි ද පැමිණිල්ලේ දක්වා ඇතැයි පැවසේ.

එම සංවිධානය පොලිසියට  පවසා ඇත්තේ තම සංවිධානය මගින් මෙම සුනඛයින් 15 දෙනා මීට පෙර එන්නත්කරණයට හා වන්ද්‍යාකරණයට ලක් කර තිබූ බවයි.

තවද මෙම සුනඛයින් නිසා මෙතෙක් මේ භූමියේ දී කිසිවෙකුට කිසිම කරදරයක් වී නැතැයි ද පොලිසිය කියයි.

මේ තත්වය මත15 දෙනා වස එන්නත් කර සිදුකර ඇති ඝාතනය සත්ත්ව අවිහිංසාවාදී සංගමයක් ලෙස  තමන් හෙළා දකින බව ද ඔවුන් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පැමිණිල්ල දැමූ සංවිධානය කුමක් දැයි කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එවැනි විස්තර දීමට තමන් බැඳී නැති බවය.  අවසාන මොහොතේ නිලධාරීන් වගකීම එකිනෙකා මත පටවා සිද්ධියට අදාල නිශ්චිත පිළිතුරක් දීමෙන් වැළකී සිටියේය.

Exit mobile version