පොලොන්නරුව ඓතිහාසික පුද බිමේ නවකම්… කිරිවෙහෙර ප්‍රවේශ මගට ඉන්ටර්ලොක් අල්ලයි…

පූජා නගර වැඩසටහන සංවාදයට... මකර තොරන් සහිත නව ඉදිකිරීම් ගණනාවක්...

සිංහලයේ  අභිමානය ගැන කියැවෙන ඓතිහාසික මධ්‍යකාලීන රාජධානිය වූ පොලොන්නරුව පුරාවිද්‍යා භූමිය පූජා නගරයක් ලෙස ගැසට් කිරීමත් සමග මෙතෙක් පුරාණ භූ දර්ශන හා භෞතික ස්වරූපය පෙන්වන පරිදි  බොරළු පස් සිමෙන්ති සහ හුණු සහිත විශේෂ මිශ්‍රණයකින් සැකසූ ප්‍රවේශ මාර්ග කඩා ඉන්ටර් ලොක් ඇල්ලීම ආරම්භ කර තිබේ.

බැතිමතුන්ගේ පා පතුල්වල බොරළු ඇනෙන බව කියමින් සිදු කරන මේ ඉන්ටර්ලොක්  ඇතිරීම සඳහා මේ වනවිට එම මාර්ග කඩා දමමින් ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කීවේ සොළොස්මස්ථාන නායක හිමියන්ගේ ඉල්ලීමක් මත මෙම තීන්දුව ගත් බවත්, භූ දර්ශනවලට හානියක් නොවන සේ එම කටයුත්ත සිදු කිරීමට කටයුතු කරන බවත්ය.


එහෙත් මේ පූජා නගර සැලැස්මත් සමග මෙම ඓතිහාසික භූමියේ ඇති කිරීමට යෝජිත වෙනස්කම් අතර ගල් විහාරය පිටුපස ඇති වැවෙහි විශාල සීමාමාලකයක් අලුතින් ඉදි කිරීම, ගල්විහාර පන්සලට ප්‍රවේශවන ගල් විහාර පුරාණ විහාරයට නුදුරින් මකර තොරණක් ඉදි කිරීම, ලංකාවේ  දැනට විශිෂ්ට ලෙස ආරක්ෂා වී ඇති පුරාණම  බදාම තලය ලෙස සැලකෙන කිරි වෙහෙර හා රන්කොත් වෙහෙර නැවත සිමෙන්ති යොදා කපරාරු කිරීම,  කිරිවෙහෙරට නව කොතක් පැළඳීම,  දාගැබ් මළුව තුළ නව පහන් වැට සහිත ගොඩනැගිලි ඉදි කිරීම,  නව මල් ආසාන පිහිටුවීම ඇතුළු විශාල නව ඉදිකිරීම් ප්‍රමාණයක් සිදුවීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල් ආරංචි මාර්ග පවසයි.

එහෙත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පැවසුවේ පූජා භූමි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කරනු ලබන බවත්, ඊට  මූලිකවම උපදෙස් ලබා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මත බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව ලංකාසරට අදහස් දැක්වූ උරුම කළමනාකරණය සම්බන්ධව ලෝකය පිළිගත් විශිෂ්ට විද්වතෙක් වූ, ඉතාලියේ පිහිටි යුනෙස්කෝ උරුම සංරක්ෂණ ආයතනයේ (ICCROM) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හා චීනයේ ෂැංහයි යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ   උපදේශකයෙක් ලෙස කටයුතු කරන ආචාර්ය ගාමිණී විජේසූරිය පැවසුවේ මේ ලෝක උරුම භූමිය පූජා නගරයක් ලෙස සංවර්ධනය විය යුත්තේ එහි පූජනීයත්වය වැඩි දියුණුවන ආකාරට, පුරාවිද්‍යා අංශ හා සංඝයා වහන්සේ ඇතුලු බෞද්ධ සමාජය අතර පුළුල් කථිකාවකින් පසු ඇති වන දියුණු විධිමත් සැලසුමක් තුළ බවය. ඒ සඳහා දෙපාර්ශවයම නම්‍ය ශීලී ප්‍රවේශයකට එළඹිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

 

 

 

Exit mobile version