පුලුවන්නම් අස්වනු කපනකොට ගොවි බිමකට ගිහින් ගුටි නොකා එන්න… මහාචාර්ය සමන් ධර්මකීර්ති

වගා කරන ගොවීන්ටත් කන්න නෑ... මහාචාර්ය සමන් ධර්මකීර්ති උද්දච්ච පාලකයන්ට කියන කතාව

වගාකරන ගොවීන්ටත් කන්න නැතිවන සාගතය  තව මාසයක් තුළ බලා ගත හැකි බව කෘෂි විද්වත්හු කියති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය සමන් ධර්මකීර්ති සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටින්නේ මේ ව්‍යසනයට  රට ඇද දැමූ කේවට්ට උපදේශකයන් හා උද්දච්ච පාලකයන්ගේ නිරුවත් රංගනය තවමත් නිමා වී නැති බවය.

මහාචාර්ය සමන් ධර්මකීර්ති

පසට, පරිසරයට සහ ගොවි ජනතාවට  හෙන ගැහුවත් කාබනික පොහොර ආනයනයෙන් ලැබෙන කොමිස් මුදල් වලින් සොච්චමක් හෝ ලබා ගැනීමේ අශිෂ්ට චේතනාවෙන් කෙරෙන  උපදේශක කේවට්ටයන්ගේ නිරුවත් රංගනය තවමත් නිමා වී නැති බව කියන මහාචාර්යවරයා මේසා බිහිසුණු ව්‍යසනයක්  ඇස් හමුවේ පෙනි පෙනී රටේ ප්‍රමිතිය බාල කර ඕනෑම කාබනික පොහොරක් පිටරටින් ගෙන්වීමට දියත් කර ඇති නිර්ලජ්ජිත උත්සාහයට සමස්ථ ජාතියටම අනාගතයේ වන්දි ගෙවීමට සිදුවන බව පෙන්වා දෙයි.

“ මේ උද්දච්ච පාලකයින්ටත් කේවට්ටයින්ටත් කියන්න ඕන දේ දැන් ගොවියො දන්නවා. පුලුවන්නම් අස්වනු කපන කාලෙට ගිහින් ඔබේ කාබනික ප්‍රතිපත්තිය ගැන ඒ මින්ස්සු එක්ක කතා කරන්න…

ගහයි එලව එලවා….


මහාචාර්ය සමන් ධර්මකීර්ති තැබූ ෆේස් බුක් සටහන මෙසේය.

මම අද කේෂ්ත්‍ර  පර්යේෂණයක් බලන්න අනුරාධපුරයට ගියා. යන අතරතුර දකින වී වගාවන් ඡායාරූපගත කළා   එක තැනකදී මම ඡායාරූපයක් ගන්නකොට එතනින් ගිය පාපැදිකරුවෙක් “වැඩක් නැහැ මහත්තය ෆොටෝ ගත්තට, පොහොර නැහැනේ” කියාගෙන ගියා. ඔහු හිතුවේ මම විනෝදෙට ෆොටෝගන්න කෙනෙක් කියලා.

බොහොමයක් කුඹුරු වල ගොයම කහ ගැහිලා, කේඩෑරි වෙලා. තවත් සමහරකට පැල  මැක්කා හානි කරලා හොඳටම. පොහොර නැතිකම මේ නිරීක්ෂණ දෙකටම හේතුවක්. පොහොර නැති කමින් කෙඩෑරී වී ගිය ලපටි ගොයමට මේ කෘමියගෙන් වෙන හානිය ඉතා වැඩි බවක් තමයි මම දැක්කේ. ඒ මදිවට ගොයමට උඩින් වල්. ගොවීන් කුඹුරු ඇත ඇරලා වගේ තියෙන්නේ. ටිකක් හරි කොලපාටට තිබුණු කුඹුරුවලට කොහෙන්හරි හොයාගත්ත රසායනික පොහොර ටිකක් දාල තිබුණා. ශාක පෝෂණයේ සැඟවුන බඩගින්න (hidden hunger) ගැන නොදන්න ගොවීන් කොල පාටට තියෙන වගාව දැකලා අපිනම් ගොඩ කියල කිව්ව. මම හිනා වෙලා නිකම් හිටියා. වෙන මොනව කියන්නද?

ගොවි මහත්තුරු කීප දෙනෙක් එක්කම කතා කළා. එකම අඳෝනාව. “වැඩක් නැහැ මහත්තය කුඹුර කරලා, තෙල්-පොහොර නැතිව. ගස් කෙඩාරි වෙලා, කෘමීන්ගෙන් හානි වෙලා. ඒ මදිවට අලි. පැල් රකින්නේ අලින්ගෙන් මොනවා රැකගන්නද?. ගොඩක් අය පැල් රැකිල්ලත් ඇත ඇරලා දැම්මා. ගිය කන්නේ අස්වැන්නෙන් වී මල්ලක් තව ඉතිරිවෙලා තියෙනවා. එක ඉවර වුනාම? මේ කන්නේ අපිටවත් කන්න හාල් නැතිවෙයි. මට අක්කර පහක් හයක් තියෙනවා. මේ කන්නේ මම කලේ අක්කරයයි. අනිත්වා අඳේට දුන්නා. අඳේවත් ගන්න බැරිවෙයි මේ කන්නේ.” මේ තමයි ගොඩක් ගොවීන්ගේ දුක් ගැනවිල්ල.

සති කිහිපයකට කලින් කෘෂි කර්ම අධ්‍යක්ෂ ජෙනරාල් සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේම කිව්වේ “කුඹුරැවලට නම් අවශ්‍ය තරම් පොහොර තියෙනවා. එලවලු වලට  සහ අනෙක් වගාවන්ට තමයි “ටිකක්” ප්‍රශ්නෙ” කියලා. දැන් මේ පොහොර තිබුනයි කියන වී වගාව. ඵතකොට අනෙක් වගාවන් කොහොමට ඇතිද?.

ආයතන ප්‍රධානීන්ටත් මේ විනාශය කලින්ම පෙනුනේ නැතිනම් හෝ මේවා පුරෝකථනය  කිරීමට හරි දැනුමක් නැතිනම් හෝ දැන දැනත් යම් කිසි ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් වැරදි උපදෙස් පාලකයන්ට දෙනවා නම්, අපේ කෘෂිකර්මාන්තයටත් වටිනා පාංශු සම්පතටත් වෙන හානිය සිතාගන්නවත් බැරි වෙයි.

මේ තැනට අසරණ ගොවීන් පත්කරපු කේවට්ටයන්, සහ පාලකයින් මෙයට ඍජුවම වගකිව යුතුයි.  පුදුමේ කියන්නේ මෙච්චර විනාශයක් ඇස් පනාපිටම පෙනේත්දිත්, කාබනික පොහොර අවශ්‍ය තරම් ලංකාවේ නුදුරු කාලයකදී හදන්න බැරි බව පෙනී පෙනීත්, එසේ ප්‍රකාශ කරන ගමනුත්, පිට රටින් ඕනෑම කාබනික පොහොරක් ආනයනය කිරීමට මේ ගන්නා නිර්ලජ්ජිත උත්සාහයට තවමත් මෙම කේවට්ටයන් අනුබල දීමයි; මේ සඳහා කාබනික පොහොර ප්‍රමිතීන් වෙනස් කිරීමට සහ නව බාල ප්‍රමිතීන් සකස් කිරීමට මේ කේවට්ටයන් දරණ උත්සාහයයි;

පසට, පරිසරයට සහ ගොවි ජනතාවට  හෙන ගැහුවත් කාබනික පොහොර ආනයනයෙන් ලැබෙන කොමිස් මුදල් වලින් සොච්චමක්වත් ලබා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ කාබනික පොහොර නාඩගමේ රඟපාන කේවට්ටයන්ගේ ඇඳුම් නැති රංගනයයි. (ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනයට උදවු කල සහ කාබනික පොහොර ප්‍රමිතීන් වෙනස් කිරීමට සහ නව බාල ප්‍රමිතීන් සකස් කිරීමට කැසකවන තවමත් නම් ප්‍රසිද්ධ නොවුණු අනෙකුත් අවස්ථාවාදීන්ද නුදුරේදීම රටට හෙළිදරව් විය යුතුය).

අඩුම ගානේ ඔවුන්ට තමන් කන බත් පත දකිනකොට “අනේ මේ ගොවීන්ගේ දහදිය කඳුළු නේද අපි මේ කන්නේ” කියලවත් හිතෙන්නේ නැති එක තමයි පුදුමේ.

කිසි වැඩ පිළිවෙලක් නැතුව, තම තමන්ගේ කාබනික සිහින ගොවීන්ගේ ජීවිත වලින් සහ මහා ජනතාවගේ බදු මුදල් වලින් සැබෑකරගන්න තවමත් වලිකන මේ  කේවට්ටයන් රැලත් ඔවුන්ට සවන්දෙන උද්දච්ච පාලකයන්ටත් කරන්න ඕන දේ ගොවීන් හොඳටම දැන් තේරුම් අරන් ඉන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුලුවන්නම් අස්වනු කපන කාලෙට ගිහින් මේ ගොවීන්ට කියන්න අපිතමයි මේ විදියට කාබනික ගොවිතැන කරන්න කිවුවේ; උපදෙස් දෙන්නේ කියලා. ගහයි එලව එලවා.

Exit mobile version