කීර්ති ප්‍රනාන්දු –
වර්ෂ 2030 වනවිට රට තුළ පුනර්ජනනී බලශක්ති භාවිතය සම්බන්ධව ඉලක්කගත වැඩසටහනක් තිබිය දී එම ඉලක්ක සාධනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් පිට පැන එය අඩාල කිරීමේ ව්‍යාපෘතියක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාවට අයත් පිරිසක් මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය ප්‍රකාශ කරයි.
වර්ෂ 2030 වනවිට රටේ සියයට 70ක් පුනර්ජනනී බලශක්තිය වෙත යෑමට ඉලක්කගත වැඩසටහන දියත් වී වසර දෙක හමාරක් ගිය පසු මාර්ග සිතියම් හැදීම සඳහා අද හවස රේණුකා හෝටලයට එක්වන විදුලිබල මණ්ඩලයේ පාර්ශව අවසාන වශයෙන් කරනු ඇත්තේ මෙම ව්‍යාපෘතිය තව දුරටත් ප්‍රමාද කර ඩීසල් බලාගාරවලින් උපයනා තමන්ගේ කෝටාව රැක ගැනීම බවද ඔවුහු චෝදනා කරති.
ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සභාපති ඒ.ජී.යූ නිශාන්ත පවසන්නේ ජාතික ධනය වැය කරමින් ගජමිතුන් සමග සාද පැවැත්වීම නොව සැලසුම් කර ඇති පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා නිර්දේශ කර ඇති මූලික ක්‍රියාවලියට ඔවුන් අවතීර්ණ විය යුතු බවය.
“ රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්තියෙන් යන්න 2030 දි යන්න ඉලක්කයක් තිබ්බා. ඒ ඉලක්කය සඳහා මීට අවුරුදු දෙක හමාරකට පෙර වැඩ පටන් ගත්තා. ඒත් අද (08) හවස ආසියානු සංවර්ධන බැංකුවත් සම්බන්ධ කරගෙන විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් රේනුකා හෝටලයේ නැවත එකතු වෙනවා ක්‍රියාකාරී සැලැස්මක් හදන්න.“
“ අප දකින විදිහට මේ කටයුත්ත සඳහා අලුතින් ප්‍රධාන සැලැස්මක් නැවත හදන්න දෙයක් නෑ. දැන් අවශ්‍යවෙලා තියෙන්නේ දියත්කර ඇති සැලසුමට අනුව ඉල්ලුම් කරලා තියන පාරිභෝගිකයින්ට ගෙවල්වල වහලවල් ටිකට සූර්ය බලශක්තිය ලබා ලබා දෙන උපකරණ ටික දෙන්න. මතුවෙලා තියන ප්‍රායෝගික බාධක ටික ඉවත් කරන්න. කරන්න තියෙන්නෙ ඒ ටික විතරයි.“ .
“ ඔබ දන්නවා පුනර්ජනනී බලශක්තිය ක්ෂේත්රය අවුරුදු විස්සකට වැඩිය පැරණියි. ලෝකයේ විවිධ රටවල පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති සඳහා උපදේශකයින් ලෙස කටයුතු කරන අත්දැකීම් සහිත වෘත්තිකයින් ගණනාවක් අපට ඉන්නවා.
ඒ වගේම විදුලිබල මණ්ඩලයේ පද්ධති ජාලය හරහා බෙදාහැරීම් කළ හැකියි. අලුත් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් හදන්න ඕන නෑ. මේ කණ්ඩායම් අනවශ්‍ය විදිහට කාලය ගතකරමින් අවසන් ඉලක්කය වෙත ගමන් නොකරන බව පෙන්වා දීමට අවශ්‍යයයි.“ සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.