පිංවත්තේ දී කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට…

සුඛොපභෝගී ජිප් රථයක ගමන් කරමින් සිටිය දී  පානදුර පිංවත්ත ප්‍රදේශයේ  වෙඩි තබා ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය  රුපියල් ලක්ෂ විස්සක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවත් එම කොන්ත්‍රාත්තුව ඝාතකයාට ලබා දී ඇත්තේ එම පවුලේම සමීපතමයෙක් බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයින් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ද විමර්ශන අංශ පවසයි.

ඝාතනය  සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග පෙරේදා (05) පොලිස් අත්අඩංගුවට ගෙන පැය 48ක රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබිණි.

මෙම ව්‍යාපාරිකයා දෙදරු පියෙකි. ඔහු  සිය නීත්‍යානුකූල බිරියකගෙන් ඉවත් වී    වෙනත් කාන්තාවක් සමග පානදුර ප්‍රදේශයේ  ජීවත් වෙමින් සිටි අතර එම කාන්තාව මෙම ව්‍යාපාරිකයාගේ බිරියගේ ඥාති සොයුරියකි.  ඇයත් දෙදරු මවකි.


ඇය වෙනුවෙන් විශාල වත්කම් ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් ලබා දී ඇති අතර පිංවත්ත ප්‍රදේශයේ  ඇයට   විශාල  නිවසක්  ද ඉදිකරමින් සිට තිබේ.

එමෙන්ම ඔහු නීත්‍යානුකූල බිරියගෙන් වෙන් වීමට ද නීති කටයුතු ආරම්භ කර තිබී ඇත.

මෙම ව්‍යාපාරිකයාත්, ඔහුගේ බිරියත්, පසුව ඔහු සමග ජීවත් වූ කාන්තාවත්, මේ ඝාතනයට සම්බන්ධ පැදිකරු සහ ඝාතකයාත් ඇල්පිටිය තෙලිකඩ ඉපදී හැදී වැඩුණු අයය.  මේ තත්ත්වය ද විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත. ඝාතනය වූ ව්‍යාපාරිකයා කඩවතට පැමිණ ඇත්තේ පසු කාලයක දී ය.

දැනට හෙළිවන පරිදි මෙම ඝාතකයාත්, පැදිකරුත් ව්‍යාපාරිකයා හොඳින් දන්නා අඳුනන ඔහුගේ ගම් පලාතේ අය ය. ලක්ෂ විස්සක මුදල් තන්හාවට කොන්ත්‍රාත්තුව භාර ගනු ලැබුව ද  ඔවුන්  පළපුරුදු වෙඩික්කරුවන් නොවන බවත් ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය එම පැදිකරුම පාවිච්චි කරමින් සිටි යතුරු පැදිය බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. පැදිකරු  බස් රථයක කොන්දොස්තර කෙනෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

වෙඩික්කරු   පොඩි ව්‍යාපාර කරමින් ජීවත් වූ පුද්ගලයෙකි.  ඔවුන් දෙදෙනා කොටු වන්නේ පැදිකරු විසින් මග  අත්හැර ගිය යතුරු පැදියේ චැසි අංකය සහ එන්ජින් අංකය ඔස්සේ කරන ලද විමර්ශනවලදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ට කොන්ත්‍රාත්තුව ලැබුණ ආකාරය, ගිනි අවි සපයා ගත් ආකාරය සම්බන්ධව   විමර්ශන අංශවල දැඩි අවධානයට යොමු වී ඇත.

Exit mobile version