ප්රකට නීතිඥ මෛත්රී ගුණරත්නගේ පුත් නීතිඥ මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ දී ඊයේ (25) සවස පොලිස් පරීක්ෂකවරයෙක් විසින් බරපතල ලෙස පහර දීම නිසා නීතිඥවරයා රෝහල්ගත කර තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
අන්තර්ජාල වංචා සම්බන්ධව නයිජීරියන් ජාතිකයන් හා බෙලරූස් ජාතියන් සහිත කණ්ඩායමක් පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැක කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ නීතිඥ මිගාර ගුණරත්නය.
සිය සේවා දායකයන් හමුවීම සඳහා පෑලියගොඩ පොලිසියට පැමිණි නීතිඥ මිගාර ගුණරත්න එහිදී ඔවුන් වෙත ජංගම දුරකථනයක් ලබා දී ඇත. මේ සම්බන්ධව පොලිසිය හා නීතිඥවරයා අතර වචන හුවමාරුවක් සිදු වී තිබේ.
ඒ අවස්ථාවේ දී එතැනට පැමිණි ඉහත පොලිස් පරීක්ෂකවරයා නීතිඥවරයාට බරපතල ලෙස පහර දී ඇත. මේ වනවිට නීතිඥවරයා රෝහල් ගත කර තිබේ.
පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පස් දෙනෙකුගේ වැඩ තහනම් කර විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි ලංකාසරට වාර්තා වේ.