පාස්කු වන්දි නඩුව ඉවත් කරන්නැයි හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් තමන්ට වන්දි අයකර දෙන ඉල්ලා ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර  තමන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද ( 07) නියෝග කළේය.

මෙම නියෝගය ලබා දුන්නේ කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා විසිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   ඇතුළු වගඋත්තරකරුවන් 05 දෙනෙකුගෙන් රුපියල් මිලියන 900ක  වන්දි මුදලක්  ඉල්ලා  කොළඹ දිසා අධිකරණයේ  නඩු 102 ක් ගොනු කර තිබිණි.


එහි පළමු විත්තිකරු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කර තිබූ අතර සෙසු විත්තිකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන නම් කර තිබිණි.

අවසන් වරට මෙම  නඩුව කැඳවනු ලැබුවේ පසුගිය නොවැබර් 29 දාය.   එදින නඩුව කැඳවනු ලැබුවේ   පළමු විත්තිකරු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නීතිඥයින් විසින් ගොනු කරනු ලැබු මෝසමකට අනුවයි.

එහිදි කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා   කියා සිටියේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ දිසා අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවයි.

එසේම මෙම පැමිණිල්ල තුළ සිවිල් නඩු විධාන සංග්‍රාහයේ ප්‍රතිපාදනවලට අනුකූල නඩු නිමිත්තක් හෙළිදරව් කර නොමැති බැවින් මෙම පැමිණිල්ල මුල් අවස්ථාවේදීම සලකා බැලීමකින් තොරව නිශ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

අනතුරුව එම ඉල්ලීමට සිය විරෝධය පල කරමින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා   කියා සිටියේ සිවිල් නඩු විධාන සංග්‍රාහයට අනුව මුල් අවස්ථාවේදීම පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටීමට විත්තිකරුවෙකුට ප්‍රතිපාදන නොමැති බවයි.

නඩුව පවරා ඇති ආකාරය පිළිබද දෝශ සහගත තත්ත්වයක් වේ නම් ඒ පිළිබද පුර්ව නඩු විභාග අදියරේදි සලකා බැලීමට හැකි වන සේ ලිඛිත දේශන යොමු කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

ඒ අනුව වින්දිතයන්ගේ පැමිණිලි මුල් අවස්ථාවේදිම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිපාදන නොමැති බැවින් පුර්ව විභාග අවධියේදි විත්තියේ කරුණු සලකා බලන ලෙස ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා  ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලු අතිරේක දිසා විනිසුරු අද ( 07)   මේ සම්බන්ධයෙන් වූ නියෝගය ලබාදෙන බව නඩුවේ පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නියෝගය නිකුත් කරමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් තමන්ට වන්දි අයකර දෙන ඉල්ලා ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර  තමන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද ( 07) නියෝග කළේය

Exit mobile version