“පාස්කු කොමිසම කීවාට හිටපු ජනපති මෛත්‍රිට නඩු දාන්න බෑ” – දයාසිරි කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩු පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් , රාජ්‍ය ඇමති, නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.

අපරාධ නීති සංග්‍රහයට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩු පැවරීම සඳහා කිසිදු නීති ප්‍රතිපාදනයක් නැති බව හෙතෙම සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව පැවසූ දයාසිරි ජයසේකර මහතා නීතිය පිළිබඳව අවබෝධයක් නොමැති අයෙකු මෙන්ම, අත්දැකීමක් හෝ නොමැති අයෙක් එම කොමිසම සකසා ඇති බව එහි කරුණුවලින් අනාවරණය වන්නේ යැයි ඔහු පැවසීය.


විධායක ජනාධිපතිවරයකුට නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථාවේ තිස් පස් වැනි වගන්තියට අනුව මුක්තියේ අයිතිවාසිකමක් තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව ධුර කාලය තුළ නඩු පැවරිය හැකි වන්නේ මානව හිමිකම් කඩ කළ වරදකට වරදක් සම්බන්ධව පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිතුමා විදේශ ගතවන විට ආරක්ෂක ඇමති ධූරයේ වැඩ බැලීමට තවත් අයෙක් පත්නොකිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව සදහන් කරන පාස්කු කොමිෂන් සභා වාර්තාවේම අනාගතයේ සිදු කරන සංශෝධනයකට එය රීතියක් ලෙස ඇතුළත් කරන ලෙස යෝජනා කරන බවත් ඒ අනුව එලෙස නීතියක් නොවන උල්ලංඝනය කරන්නේ කෙසේද? යන ප්‍රශ්නය මතු වන බව ජයසේකර මහතා පෙන්වා දෙයි.

පාස්කු කොමිසමෙන් අපේක්ෂා කළේ බෝම්බ ප්‍රහාරය කළ එල්ල අය කවුද යන්න පිළිබඳ හඳුනාගෙන ඔවුන් අනාවරණය කර ගැනීම මිස හිටපු ජනාධිපතිට දඬුවම් කරන්න හෝ බොදු බල සේනා සංවිධානය සහ තහනම් කරන්න වත් නොවන බව ඒ මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දඬුවම් කරන්න ඔහු බෝම්බ ගහලා නැති බවත්, බොදු බල සේනාව තහනම් කරන්න ඔවුන් බෝම්බ රැගෙන පැමිණියේ නැති බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔවුන්ට එලෙස දඬුවම් කරනවා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සමයේ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවත් එසේ නම් ඇයට ද ඒ සම්බන්ධව දඬුවම් කර තිබිය යුතු බව නීතිඥ දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව මෙම කොමිෂන් සභාව කුමක් පදනම් කරගෙන නිර්මාණය කළේද? ඒ කාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් සැකසූ වේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version