පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් – ජී.එල් කියයි…

අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ ‘විෂන් එෆ්.එම්.’ නාලිකාව ද ලබන සතියේ ඇරඹේ. ඉදිරියේ දී සෑම ශ්‍රේණියකටම රූපවාහිනී නාලිකාවක්....

G-L-Peris

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන ‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති අතර ගුවන්විදුලි නාලිකාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ද රූපවාහිනී නාලිකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධ ව PEO TV ඔස්සේ විකාශන කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරේ.

මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට තිබේ. මේ සම්බන්ධ ව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව රැස්වීමෙන් අනතුරු ව වැඩසටහන පෙළගැස්ම සහ අදාළ විකාශන කටයුතු පිළිබඳ අවසන් තීන්දු තීරණ ගෙන එළඹෙන සතියේ සිට විකාශන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන නාලිකා ආරම්භ කිරීම සඳහා අමාත්‍යංශය පසුගිය කාලය තුළ විශාල වැඩකොටසක් නිහඬව සිදුකළ අතර ඒ පිළිබඳ පැහැදිලිකර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය උපයෝගී කර ගන්නා බව පැවසීය. අමාත්‍යංශය මඟින් මෙතෙක් සිදුකළ වැඩසටහන් සහ ඒවායෙහි ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කිරීමේ හැකියාව එදිනට ලැබෙන බව කීය.

“සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය නිර්‍දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. නමුත් පවතින කොවිඩ් අර්බූදය හමුවේ මේ වන විට එම සැලසුම් ක්‍රියාත්මක කිරීම අනිශ්චිතයි. පවතින තත්වය හමුවේ හොඳ ම විකල්පය මාර්ගගත (Online) අධ්‍යාපනය බවට පත් වී තිබෙනවා.“

“මෙම විස්තෘත වැඩසටහනට අනුව ඒ ඒ ශ්‍රේණි සඳහා වෙන වෙන ම රූපවාහිනී නාලිකාව බැගින් ආරම්භ කර අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු සංවිධානය කරමින් තිබෙනවා. ආර්ථික අර්බූද, සෞඛ්‍ය අර්බූද මෙන් ම ගුරු වැටුප් විෂමතාව වගේ ගැටලු කොතරම් තිබුණ ද දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූලිකත්වය ලබාදිය යුතු වෙනවා. යැයි ඇමතිවරයා කීවේය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, සීතා අරඹේපොළ, පියල් නිශාන්ත, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පිරිසක් එක්වූහ.

Exit mobile version