පාර වැවක් වී දරුවන් පාසලකටවත් යවා ගන්න බැරිතැන පාරට බැස්ස කජුවත්තේ මිනිස්සු….

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල මල්දෙණියේ සිට දෙහිඅත්තකණ්ඩිය සහ පොලොන්නරුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය කිලෝමීටර් හතක් පමණ දුරට අබලන් වීම හේතුවෙන් බස් රථ ප්‍රවාහන පහසුකම් ඇනහිටිම නිසා පීඩාවට පත් ගම් හතරක පාසල් දරුවන් සහ ගම්වැසියන් වෙනුවෙන් මහා මාර්ගය පිළිසකර කර ගැනීම අපේක්ෂාවෙන් ගම්වාසීහු පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.

වසර ගණනාවක් සිට මෙම මාර්ගය අබලන් වීම හේතුවෙන් කජුවත්ත, කනිච්චියාගල, කැකුළුවල, මල්දෙණිය යන ගම්මාන හතරක පවුල් 4000 කට වැඩි සංඛ්‍යාවක් අන්ත පීඩාවට පත් වී ඇතැයි විරෝධතාකරුවෝ කීහ.

මේ වනවිට පාසල් දරුවන්ට ගමන් කිරීම සඳහාවත් කිසිදු බස් රථයක් එම මාර්ගයේ ගමන් නොකර බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.

මල්දෙණියේ සිට කජුවත්ත ගම්මානය දක්වා කිලෝමීටර් හතක් දුරට එම ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන්, ත්‍රීරෝද රථයකට, යතුරුපැදියට, පාපැදියකට තියා පයින්වත් යෑමට නොහැකි මට්ටමට විශාල වලවල් හෑරී ඇති බවත්, මේ පිළිබඳ අවස්ථා කිහිපයක දී බලධාරීන් දැනුම්වත් කළත් විසඳුමක් නොමැති හෙයින් මෙම විරෝධතාව සංවිධානය කළ බවත් ගැමියෝ කීහ.


මෙම මාර්ගයට සමගාමීව ප්‍රධාන ඇල ගමන් කරන අතර අවස්ථා දෙකකදී එම ඇළට බස්රථ දෙකක් පෙරළි අනතුරක් සිදුවූ බව ද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

මාර්ගය අබලන් වීම හේතුවෙන් පෞද්ගලික බස්රථ සහ ලංගම බස්රථ ගමන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉතා කඩිනමින් මෙම මාර්ගය පිරළිසකර කර නොදුනහොත් තමන් ඉදිරියේ පළාත් පාලන මැතිවරණය කිසිදු පක්ෂයකට ඡන්දය භාවිතා නොකරන බවත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ගම්මාන හතරේ ජනතාව ප්‍රකාශ කළහ.

මෙම මාර්ගයේ බස්රථ ගමන් නොකිරීම පිළිබඳ අප පොළොන්නරුව ලංගම ඩිපෝවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ දැඩි ලෙස වලවල් හෑරී ඇති බැවින් එම මාර්ගයේ ලංගම බස්රථ ගමන් කිරීමට හැකියාව නොමැතිව බවය.

මාර්ගයේ බස්රථ ගමන් කරන්නේනම් එම බස්රථ ඉක්මනින් දැඩිව අබලන් තත්ත්වයටද පත් වන්නේ යැයි ද ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව අප මේ ගම්වාසීන් විඳින අපහසුතාවය පිළිබඳ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රමගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ එම මාර්ගය ඉතා කඩිනමින් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, එම කටයුතු කරන තෙක් මාර්ගය තාවකාලිකව බොරලු පස්දමා හෝ සකසා එම මාර්ගයේ බස්රථ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අදාළ බලධාරීන් දැනුවත් කරන බවත්ය.

Exit mobile version