අද සහ හෙට (06) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නිමිත්තෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග වසා දැමීමට පොලීසිය කටයුතු කිරීමත් සමගම ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත් වී ඇතැයි වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ පාර්ලිමේන්තුව දෙසට දිවෙන මාර්ගයේ මහජන විරෝධතා පැවැත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවට පැමිණීමට සහ ඉන් පිටතට යාමට නොහැකි වී ඇති බවයි.
මහජන විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ද පොලිසිය ප්රකාශ කළේය.
ඒ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුවට පිවිසෙන සහ ඒ අවට මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇත.
පොල්දූව හන්දියේ සිට ජයන්තිපුර හන්දිය දක්වාත්, ජයන්තිපුර හන්දියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පාර්ලිමේන්තුව දෙසට දිවෙන මාර්ගය දක්වාත් මාර්ග මෙසේ වසා දමා ඇත.
මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම අතුරු මාර්ග ද වසා තැබෙන අතර වසා ඇති මාර්ගවල පදිංචිකරුවන්ට ගමන් කිරීමට හේතුව සඳහන් කර එම මාර්ග භාවිත කිරීමට අවසර ලබා ගත හැකි බව පොලිසිය කියයි.