පාදෙණියගේ කීමට වැඩ කළ පවිත්‍රා අධිකරණයේදී පරාජය වෙයි!

ශ්‍රියානි විජේසිංහ –

හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා වන හරේන්ද්‍ර සිල්වා අතුළු සාමාජිකයින් ඉන් ඉවත් කර මහාචාර්ය වජිර දිසානායකගේ සභාපතිත්වයෙන් යුතු නව සාමාජිකයින් පත් කිරීම බල රහිත කරමින්, අභියාචනාධිකරණය විසින් අද ( 26) තීන්දුවක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම සළකා බැලූ එම්. පී මොහොමඩ් නසාර් හා එස් යූ බී කරල්ලියද්ද යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය අද නිකුත් කළහ.

නියෝගය නිකුත් කරමින් අධිකරණය දන්වා සිටියේ හිටපු සභාපති හරේන්ද්‍ර සිල්වා ඇතුලු හිටපු සාමාජිකයන් යළි එම තනතුරුවල පිහිටුවන ලෙසය.

2019 ජනවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නියාමනය කිරීමේ හා ලියාපදිංචි කිරීමේ ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පත් කරනු ලැබුවේය.


ඔහු හා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ඒ පිලිබඳ විමර්ශනයක් සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි 2020 ඔක්තොම්බර් මාසයේදී කමිටුවක් පත් කරන ලදී.

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව සභාපතිවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් 2021 නොවැම්බර් 21 වැනිදා වෛද්‍ය සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරිය පියවර ගත්තාය.

අමාත්‍යවරියගේ එම තීරණයට අභියෝග කළ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය උපුල් ගුණසේකර, මහාචාර්ය නාරද වර්ණසූරිය හා වෛද්‍ය පුෂ්පිත දර්ශන සුනිල් උභයසිරි, අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නව පත්කිරීම් බල රහිත කරන ලෙස ඉල්ලා සිටියහ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය හේමන්ත පෙරේරා, මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ, මහාචාර්ය අනුලා විජේසුන්දර, වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, මහාචාර්ය වජිර දිසානායක, වෛද්‍ය දර්ශන සිරිසේන ඇතුළු 13 දෙනෙකු නම් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ප්‍රකාශ වුනේ එම අභියාචනාධිකරණයේ තීන්දුවය.

 

Exit mobile version