ප්‍රධාන ඖෂධ සමාගමක් හොර පාරෙන් ගෙනා පීසීආර් කට්ටල 6600ක් අල්ලයි…

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර මෙරටට ගෙනා රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 6600 ක් කොළඹ 15 පිහිටි මෙරටට ඖෂධ ආනයනය කරන ප්‍රධාන සමාගමකට අයත් ගබඩාවක තිබී සොයා ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් අද  (17) සමත්ව තිබේ.

කොරියාවේ නිෂ්පාදිත මෙම පී.සී.ආර් පරීක්ෂණ කට්ටල උපයෝගී කරගනිමින් කොළඹ 05 පිහිටි ප්‍රධාන පෙළේ රසායනාගාරක පරීක්ෂණ සිදුකරන බවට ලද තොරතුරක් මත ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් 15 දා එම ස්ථානය වටලා පරීක්ෂණ කට්ටල 60 ක් සොයා ගෙන ඇත.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශන වලින් පසු එම ස්ථානයට මෙම කට්ටල බෙදාහැරීම් සිදුකළ බව කියන ඖෂධ ආනයන සමාගමේ ගබඩාව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා  ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.


එම අවස්ථාවේ එහි තිබී පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 6000 ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත්ව ඇත.

කොවිඩ් ආසාදිතයින් නිශ්චිතව හඳුනා ගැනීමට භාවිත කරන පී.සී.ආර් පරීක්ෂණ කට්ටල ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකිරීමෙන් මෙරටට ආනයනය කිරීම මුළුමනින්ම තහනම් බව එම අධිකාරිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ මෙම පී.සී.ආර් පරීක්ෂණ කට්ටල උපයෝගි කරගෙන කොවිඩ් පරීක්ෂණ සිදුකළ රසායනාගාර සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවංශ, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ ගේ උපදෙස් මත ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරිම් අංශයේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා, ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද සිරි කුමාර ගුරුසිංහ  ඇතුලු ඖෂධ නියාමන අධිකාරියේ බලයලත් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ ඇත.

Exit mobile version