ප්‍රධාන දේශපාලන පක්ෂ හදිසි මැතිවරණයකට සැරසෙති…

හදිසි මැතිවරණයකට මුහුණ දීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කටයුතු රට පුරා දියත් කර තිබේ. ඒ අනුව පොදු ජන පෙරමුණ. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඇතුළු ප්‍රධාන පක්ෂ සියල්ල ග්‍රාමීය මට්ටමේ සිට පක්ෂ සංවිධාන කටයුතු වේගවත් කිරීම ආරම්භ කර ඇත.

ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ පළාත් පාලන මැතිවරණය ද මහා මැතිවරණය ද යන්න තවම නිශ්චිත තීරණයක් ගෙන නැත.

මේ සම්බන්ධව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු කියා සිටියේ රජය මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒ සඳහා තම දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවය.

මේ අවස්ථාවේ රට මුහුණ පා ඇති ආර්ථික තත්ත්වය මත මැතිවරණයකට යෑමේ අවස්ථාවක් නැති බව ආණ්ඩුවේ කණ්ඩායමක් ප්‍රකාශ කරන අතර  ආණ්ඩුවේම තවත් කණ්ඩායමක් කියන්නෙ දැන් සිදුවෙමින් ඇත්තේ දිනෙන් දින රට විනාශයට තල්ලු වීම බැවින් වහාම මැතිවරණයකට ගොස් මේ තත්ත්වයෙන් රට බේරාගත යුතු බවයි.


කෙසේ වෙතත් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති තත්ත්වයක් මත විදේශ ආධාර සහ ණය ලබා ගැනීම ද ප්‍රශ්නයක් වී තිබෙන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

රටේ ඉහළ ස්ථාවරත්වයක් යම් තරමකින් හෝ ඇතිකරගැනීමේ  බලාපොරොත්තුවෙන් ගෙන ආ  21 වැනි සංශෝධනයට  අද කැබිනට් අනුමැතිය හිමි වුවත්    එය පාර්ලිමේන්තුවේ සභාගත කර සම්මත කරගන්නා තුරු අවිනිශ්චිතතාවයක්  ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පසුගිය දා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සමග සාකච්ඡාවකදි ප්‍රකාශ කර ඇත්තේ  මැතිවරණයකට මුහුණ දී    නැවත ජයග්‍රහණය තහවුරු කරගත හැකි වන පරිදි පොදු ජන පෙරමුණ ශක්තිමත් කරන කටයුතු රට පුරා ආරම්භ කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  මහා මැතිවරණයක් පවත්වන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මාර්තු මාසයෙන් පසුව බවත් ඊට මෙපිටින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු තුළින්ම   බවත් මේ සම්බන්ධව අප කළ විමසුමක දී  නිති විශාරදයෝ කීප දෙනෙක් පැවසූහ.

Exit mobile version