පක්ෂය රැක ගැනීමට ටී.එන්.ඒ ප්‍රතිසංවිධානය වේ…

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ නව මාධ්‍යය ප්‍රකාශකවරයා වශයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්  පත් කිරීමට පක්ෂය තීරණය කොට තිබේ.

දැනට මෙම තනතුර දරන එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කාලයක්ම මේ තනතුරේ කටයුතු කිරීම නිසා ඔහු ඉන්  ඉවත් වන බව නිවේදනය කොට තිබේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ  පක්ෂ සංවිධායකවරයා වශයෙන් ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා පත් කිරීමට ද තීරණය වී තිබේ.


දෙමළ ජාතික සන්ධාන පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් මෙතෙක් කටයුතු කරණ ලද්දේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ය.

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය කොළඹදී පවත්වන ලද විශේෂ  සාකච්ඡාවේදී මේ බව තීරණය කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය  නැගෙනහිර පළාතේ තවරාසා කලෙයිඅරසන්ට ලබා දීමත් සමගම  ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය කාරණා කීපයක් හේතුවෙන් ඊට විරෝධය පලකරණු ලැබීය.

ඉන් ප්‍රධානතම කාරණය වූයේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පිටස්තරව සම්බන්ධන් මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් එකතුවී තීරණ ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බව පවසමිනි.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ දෙකක් වන  ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද දෙමළ ජාතික සන්ධානයේ නායකයින්  සමග  දැඩි විරසක භාවයක් ඇති කර ගන්නා  ලද්දේ  පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පරිබාහිරව තීරණ ගැනීම නිසාය.

ඒ අවස්ථවේදී ටෙලෝ හා ප්ලොට්  සංවිධාන දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව යාමට පවා තීරණය කොට වවුනියාව හා මන්නාරම යන පළාත් වල පලාත් පාලන ආයතන කීපයකට දෙමළ ජාතික සන්ධානය යටතේ නාම යෝජනා ලබා නොදී ටෙලෝ හා ප්ලොට් සංවිධානය යටතේ නාම යෝජනා ලබා දීමටද පියවර ගෙන තිබුණි.

දෙමළ බුද්ධිමතුන් පිරිසක්  ඒ අවස්ථාවේදී මැදිහත් වී ප්‍රශ්නයට විසදුමක් ලබා දී ඔවුන්ව යළි එක්සත් කිරීමට පියවර ගැනීමෙන් පසුව ඔවුන් අතර වූ විරසකභාවය අවසන් වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය නිසා හටගත් අර්බූදයෙන්  ටෙලෝ හා ප්ලොට් යන දේශපාලන පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව යාමට ඉඩ ඇති බැවින්  ඔවුන්ව සතුටු කොට තවදුරටත් ඔවුන්ව පක්ෂය තුළ තබා ගැනීමට ටෙලෝ නායකයාට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක තනතුරත් ප්ලොට් සංවිධානයේ නායක  සිද්ධාර්ථන්ට පක්ෂයේ ප්‍රධාන  සංවිධායක තනතුරත් ලබා දී ඇති බව උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියා සිටිති.

 

Exit mobile version