නෝනත් DIG… මහත්තයත් DIG… පොලිස් ඉතිහාසය වෙනස් කළ පොලිස් පවුල…

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරීන් තිදෙනෙක් එකවර නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට උසස්වීම් ලබන විට ඊට සමගාමීව පොලිස් ඉතිහාසයේ මුල්ම වරට තවත් විරල සිදුවීමක්ද  ලියැවෙන්නේය. ඒ බිරියත් සැමියාත් දෙදෙනාම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වීමෙනි.

බිරිය එන්.ඩී. සෙනෙවිරත්නය. සැමියා මහින්ද ගුණරත්නය. උසස්වීම ලබන තෙක්ම සෙනෙවිරත්න සේවය කළේ රාජ්‍ය බුද්ධි සේවයේය. දැන් ඇයට අලුත් ස්ථානයක් හිමිව ඇත. ඒ රාජ්‍ය බුද්ධි සේවයෙන් නිදහස ලබමිනි.

ඇගේ සැමියා සේවයේ නිරතව සිටින්නේ කළුතර   දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. ඔහුද වැඩි කලක් රාජ්‍ය බුද්ධි සේවයේත් ප්‍රභු ආරක්ෂක අංශවලත් සේවය කළ නිලධාරියෙකි.


මේ දෙන්නාම පොලිස් සේවයට එන්වන්නේ මෙරට භීෂණය රජකල 1987 හා 1988 යන වර්ෂවලය. ඒ එකල එන්.අයි.බී. ලෙස හැදුන්වූ ජාතික රහස් තොරතුරු බියුරෝවේ සේවයටය. සෙනෙවිරත්න 1987 වසරේ උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස එක්වන අතර ගුණරත්න 1988 වසරේදී උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස එක්විය.

මේ දෙන්නා ප්‍රේමසෙයන් වෙලෙන්නේද මුල් වකවානුවේදීමය. 1998 වසරේදී මේ දෙදෙනා විවාහ දිවියට එළඹෙන අතර ගුණරත්න සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේද එම වකවානුවේදීමය. ඔහු එවකට සේවයේ නිතරව සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ ආරක්ෂක අංශයේය.

ගුණරත්ත පොලිස් පරම්පරාවකට උරුමකම් නොකීවත් සෙනෙවිරත්ත පොලිස් පරම්පරාවකට උරුමකම් කී තැනැත්තියකි. ඇය කුඩා කල පටන් හැදී වැඩුනේ පොලිස් ඇසුරේය. පොලීසිය ඇය ට අමු තැනක් නොවූයේ පාසල් ගොස් පවා කෙලින්ම ගියේ පොලීසියට වූ බැවිණි. ඒ ඇගේ මව් පියන්ද පොලිස් නිලධාරීන් වූ බැවිණි.

සෙනෙවිරත්නගේ මව ශ්‍රී ලංකා පොලීසියේ ආරම්භක කාන්තා භට කණ්ඩායමේ සාමාජිකාවකි. ඇය පොලීසියට එක්වන විට අද මෙන් දහස් ගණනක් කාන්තා නිලධාරීන් පොලීසියේ සිටියේ නැත. සිටියේ 100 කට අඩු පිරිසකි. ඇය ඒ ඉතිහාසය අදටත් රස කර කියන්නීය. ප්‍රමිලා දිවාකර ඇගේ සමකාලීනයකි. ශ්‍රී ලංකා පොලීසියේ නමගිය චරිතයක් වූ ඇය නොසිටින්නට අද කාන්තා නිලධාරීන්ට මේ තරම් දුරක් එන්නට පවා ඉඩක් නැත. සෙනෙවිරත්නගේ මව ඒ ගැන කියන්නේ ආඩම්බරයෙනි.

සෙනෙවිරත්න පොලීසියට එක්වන්නේ බුද්ධි අංශයට බදවාගත් පළමු කාන්තා උප පොලිස් කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසිනි. එම කණ්ඩායමේ සාමාජිකාවන් ගණන තුනකි. එක් නිලධාරිනියක් මගදී පොලීසිය අතහැර යන අතර සෙනෙවිරත්න හැරුණු විට අනිත් නිලධාරිනිය අදටත් බුද්ධි සේවයේ සිටින්නීය. ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ යුවලට දරුවන් දෙදෙනෙකි. දෙදෙනාම අධ්‍යාපන හදාරන වයස්වල පසුවන්නන්ය. එක් දරුවෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර අනෙක් දරුවා උසස් පෙළ අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේය.

Exit mobile version