දිනසේන රතුගමගේ –
විරෝධතා රැසක් මධ්‍යයේ යාපනය මහ නගර සභාවේ සභාවාරය 30 දා ආරම්භ වූවත් මහා ගාලගෝට්ටියක් හා මන්ත්‍රීවරුන්ගේ වර්ජන මැද සභාවාරය අතර මග නවතා දැමීමට සිදුව තිබේ.
යාපනය හිටපු නගරාධිපති මනිවන්නන් විසින් ඉදිරිපත් කරණ ලද 2023 වර්ෂයට අදාල වූ අයවැය යෝජනාවලිය පලමුවර කියවීමෙන් පසුව පරාජයට පත් වූ අතර ඔහු දෙවන වර අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
නව නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා ජනවාරී මස 19 වෙනිදා ඡන්දයක් ප්‍රකාශයට පත් කොට තිබුණද එදින ගණ පූර්ණයක් නොමැති නිසා නගරාධිපතිවරයෙක් තෝරා ගැනීමට නොහැකි විය.
යාපනය පළාත් පාලන කොමසාරිස් වරයා විසින් ඔහුට ඇති බලතල අනුව යාපනය මහ නගර සභාවේ මීට පෙර සිටි ආනෝල්ඩ් එමානුවල් නගරාධිපතිවරයා වශයෙන් පත් කිරීමත් සමගම ඊට එරෙහිව පිරිසක් නඩු මගට ගිය අතර තවත් පිරිසක් විරෝධය පල කොට සිටියහ.
මෙවර යාපනය මහ නගර සභාවේ සභාවාරය ආරම්භ වීමත් සමගම මෑතකදී හිටපු නගරාධිපති මනිවන්නන්ට පක්ෂ පිරිස සභාව තුළ විරෝධය දක්වා කෑ කෝ ගසමින් විශාල ගාල ගෝට්ටියක් ඇති කොට අවසානයේදී සභාව වර්ජනය කොට පිටව ගියහ.
මේ නිසා මෙවර යාපනය මහ නගර සභාවේ සභාවාරය අතර මග නතර කිරීමට සිදුව තිබුණි.