නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි. විදුලි කප්පාදුව පැය 03යි….

පැයකුත් විනාඩි විස්සකට සීමා කර  දැනට සිදුකරන දෛනික විදුලි කප්පාදුව හෙට සිට පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීයව පවතින බැවින් මෙම දීර්ඝ විදුලි කප්පාදුවට යන්නට සිදු වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

අද (15) අලුයම 1.30ට පමණ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වි ඇත.    බලාගාරයේ පවතින තත්ත්වය  තාක්ෂණික නිලධාරීන් විසින්  මේ වනවිට පරීක්ෂා කරමින් සිටින බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පළමු ජනන යන්ත්‍රයේ බොයිලේරුවේ ජල නළයක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් එය අක්‍රිය වූ බවට දැනට විදුලි ඉංජිනේරුවරු සැක පහළ කරති.


නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය   පසුගිය ජූලි මස 18 වනදාය.   ඔක්තෝම්බර් මාසය අවසානය වනවිට එය ක්‍රියාත්මක තත්ත්වයට පත්කළ හැකි බව ඉංජිනේරුවරු පැවසූහ.

බලාගාරයේ පළමු සහ දෙවන ජනන යන්ත්‍ර අක්‍රීය වීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 540 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නොරොච්චෝලේ බලාගාරයේ සමස්ත ධාරිතාව  මෙගාවොට් 900 කි. එම  ධාරිතාවයෙන් ජාතික පද්ධතියට මුදාහැරියේ  මෙගාවොට් 810 කි. එහෙත් මෙම ජනන යන්ත්‍ර දෙක අක්‍රීය වීමත් සමග   දැනට පද්ධතියට මුදාහරිනු ලබන්නේ මෙගාවොට් 270 ක් පමණි.

 

 

Exit mobile version