නුවර පාරේ ඉරණම තීරණය වෙන හැටි

නුවර කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයට තවදුරටත් වර්ෂාව පැවතුණහොත් එම ස්ථානයේ පවතින නායයෑමේ අවධානම ඉහළ යාහැකි බවද වර්ෂා තත්ත්වය පහව ගියහොත් පමණක් එක් මංතීරුවක් පමණක් විවෘත කර වාහන ගමනාගමනයට අවසර ලබා දීමේ හැකියාව පවතින බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.

පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානයට ආසන්න පෙදෙසේ කන්ද මුදුනේ සිට පැමිණි ජල පහරක් පැල්මක් තුළට ඇතුළු වී පහළට පැමිණ ඇති බැවින් නායයෑමේ අවදානමක් පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

නාය යෑමේ අවධානමක් පවතින කඳු කොටසට ඉහළින් කොළඹ මහනුවර දුම්රිය මාර්ගය පිහිටා තිබෙන අතර අදාළ තත්ත්වය හේතුවෙන් මහනුවර සිට රඹුක්කන දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.


පැලුම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බව කී ඒ මහතා පොළොව අභ්‍යන්තරයට ඇතුළු වී තිබෙන ජලය සමාන්තර නළ පද්ධතියක් උපයෝගි කරගෙන පිටතට ගැනීමට පියවර ගන්නා බවද කරුණාවර්ධන මහතා කීය.

කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන බවට පැහැදිලි සාක්ෂි ඇති බවත් එහි ඇතිව තිබෙන පැලුම් කිහිපයක් තුළට ජලය ගමන් කිරීමෙන් මෙය සිදුව තිබෙන බවත් ඒ මහතා කීය.

අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට අද (11) පැමිණි අවස්ථාවේ කරුණාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ස්ථානය නායයෑමෙන් වලක්වා ගැනීම සඳහා ඉංජිනේරුමය ක්‍රමවේද භාවිත කර දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ස්ථානීය පරීක්ෂාව මගින් ලබාගත් තොරතුරු උපයෝගි කරගෙන සතියක පමණ කාලයකදී වාර්තාවක් සකස් කරන බවත් කරුණාවර්ධන මහතා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිදුවන්නේ කුමක්දැයි දැකබලා ගැනීමට එම ස්ථානයට හෝ ඒ ආසන්නයට හෝ නොපැමිණෙන ලෙස ජනතාවට තරයේ දන්වා සිටින බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.

Exit mobile version