නුවර පාරට උඩින් කඩා හැලෙන්නට යන පහළ කඩුගන්නාව කන්ද තහවුරු කරන මෙහෙයුම!

පහළ කඩුගන්නාව තවමත් අවදානමකය. දැනට නායෙ යෑමේ අවදානමට ලක්ව වසා දමා ඇති නුවරපාරේ පහළ කඩුගන්නාව කඩපේළියට ඉහළින් දිවෙන දුම්රිය මාර්ගය අවටත් නායෙ යෑමේ තත්ත්වයක් සක්‍රීය වෙමිනි.  රටේ ප්‍රමාණිකයෝ එක්ව මේ ස්වභාවික විපත වළක්වා ගැනීමේ මෙහෙයුමකය.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පර්යේෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නත් ඒ මෙහෙයුමේය. මේ බිහිසුණු තත්වය ගැන මුලින්ම  වාර්තා කළ රට අවදි කළේ එතුමාය. දැන් මේ මෙහෙයුම සිදුවන්නේ කොහොම ද?.

මේ මහාචාර්ය අතුල සේනාරත්න අපට කී කතාවය.

මහාචාර්ය අතුල සේනාරත්න

මේ වන විට ස්ථානීය පරීක්ෂා කිරීම් ඉතා ඉහළ මට්ටමකින් සිදු වෙනවා. අංශ  කිහිපයක් ඔස්සේ විශ්වවිද්‍යාල මට්ටමෙන් භූ විද්‍යා පර්යේෂකයින්,  මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව …. මේ සියලු දෙනාගේම විශාල මැදිහත්වීමක් මේ වෙනවිට සිදුව තිබෙනවා.  දිවා රාත්‍රී සෑම මොහොතකම මෙහි අවසානයක් දකින්න සියලුදෙනාම කැපවී කටයුතු කරන බව කියන්න කැමතියි.

මෙම ස්ථානයේ දිගින් දිගටම ජලය ගලා ඒම වළක්වා ලීම සඳහා පියවර ගැනීම තමයි මූලිකවම සිදු කළ යුතුව තිබෙන්නේ. ජලය පහළට ගලාගෙන ඒම නිශ්චිත මාර්ගයක් ඔස්සේ,  ඒ කියන්නේ කානුවක් ඔස්සේ හෝ දිය පහරක් ඔස්සේ හෝ සිදුවන්නේ නැහැ. තැනින් තැන ඉහළ සිට   පහළට ජලය ගලා ගෙන ඒමේදී විවර වූ ස්ථානවලින් ජලය ඇතුළට කාන්දු වීමක් සිද්ධ වී තිබෙනවා.  මේ තත්ත්වය වළක්වා ලීම පිණිස තාවකාලිකව මේ වන විට පොලිතින් එළ තිබෙනවා. ඒ වගේම පොලිතින් වලින් සකස් කරන ලද පොලිතින් කවර ඔස්සේ ජලය පහළට ගලා යෑමට සලස්වා තිබෙනවා. මේ වන විට පවතින වර්ෂාවට මුහුණ දීම පිණිස පමණයි එවැන්නක් සිදු කළේ. පොලිතින් හරහා ජලය පහළට ගෙන යෑමෙන් තාවකාලිකව පස් තට්ටුව තවදුරටත් බුරුල් වීම වළක්වා ලනවා. පාංශු සංතෘප්ත තාවය අවමකර ජලය ඇතුළට කාන්දු නොවෙන ලෙස බැහැර කිරීමයි මේ වන විට සිදුවන්නේ

එය කෙටි කාල විසඳුමක්. දීර්ඝ කාලීන විසඳුමක් සඳහා ජලය ඉවත් කිරීම ට බට පද්ධතියක් සකස් කළ යුතුයි.


වසා දමා ඇති නුවර පාර

ඉහළ සිට බට ඔස්සේ පහළ කාණු පද්ධතියට ම ජලය යැවීම දීර්ඝ කාලීනව සිදු කළ යුතුව තිබෙනවා මෙවැනි ක්‍රියාවලියක් වටවල රේල්පාර නාය ගිය අවස්ථාවේ සිදු කරන්න අපට හැකි වී තිබුණා. එවැනි ම කාර්යයක් මෙම කොටසේ සිදු කරන්න දැන් අපි සැලසුම් කර තිබෙනවා

ඔව්.. මේ මාර්ගය ඉදි කොට මේ වන විට වසර සියයකට පමණ ආසන්න කාලයක් ගතවී තිබෙනවා. ඒ කාලෙ ඇතුලත නඩත්තු කිරීමේ ක්‍රමවේදය වරින් වර සිදු වුණා. නඩත්තු කිරිම් වැඩිපුරම සිදුවුණේ දුම්රිය මාර්ගයේ සහ මහා මාර්ගයේ පමණයි. අවට ප්‍රදේශවල භූමිය,  විශේෂයෙන්ම පාංශු තත්ත්වයන් පිළිබඳ දිගින් දිගටම නිරන්තරයෙන් අධීක්ෂණයක් සිදු වූ නැති බව අපි කවුරුත් පිළිගන්න ඕනේ.  දැන් පහළ කඩුගන්නාවේ කොළඹ නුවර පාර සහ ඉහලින් දිවෙන දුම්රිය මාර්ගය අතර  කොටසේ  නායෙ යෑම් තත්වයක් සක්‍රීය වෙලා තියනවා. උඩරට දුම්රිය මාර්ගය කොටසේත් මේ තත්වය ඇතිවෙලා.

දැන් අපිට අවස්ථාව ලැබී තිබෙනවා අවට ප්‍රදේශවල භූ සමීක්ෂණ කටයුත්ත කරන්න. ඒ අනුව පාෂාණ තට්ටු මත සිදුවන්නේ කුමක්ද යන්න සහ මෙවැනි මාර්ගවල ඉහළ සහ පහළ පාෂාණ ස්ථරවල කුමන මට්ටමේ වෙනස් වීම් සිදුවී ඇත්ද යන්න අධීක්ෂණය කිරීම අප මේ වනවිට සිදු කරමින් තියෙනවා.

කෙටියෙන්ම කියනවානම් උපන්ගෙයි දෝෂ ටික හොයා බලන එක තමයි දැන් අපි කරන්නෙ

කඳුකර ප්‍රදේශවල මාර්ග සම්බන්ධයෙන් කතා කරන විට වර්ෂා කාලයේ දී ඇතැම් ස්ථාන නොහිතන ආකාරයට නායයෑම් සිදු විය හැකි තත්ත්වයක පවතිනවා. ඒ  නිසාම ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල තීව්‍රතාවය ම්බන්ධයෙන් සූක්ෂම අධ්‍යයනයක් සිදුකිරීමට අපි බලාපොරොත්තු වී සිටිනවා.  කඳුකර තත්ත්වයන් සම්බන්ධයෙන්,  එහි පාෂාණ   සහ පාංශු තත්ත්වයන් සම්බන්ධයෙන්,  මාර්ගවල ඇති පාදම සම්බන්ධයෙන්,… ඒ සියල්ලක්ම මුල්කරගෙන අධ්‍යයනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගලගෙදර – නුවරඑළිය,  ඇල්ල – වැල්ලවාය,  කුරුණෑගල ඇතැම් මාර්ග, මාතලේ – කුරුණෑගල මාර්ගය වැනි මාර්ගවල  අවදානම් තැන් ගැන ඉදිරියේදී තාක්ෂණික ඇගයීමක් සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

මොකද මේ වෙන විට නවීන තාක්ෂණය ඔස්සේ කළ නොහැක්කක් නෑ. අනිත් කාරණාව තමයි මෙවැනි මාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කොට උපදෙස් ලබා ගැනීමේ හැකියාවත් අපිට තියෙනවා. උදාහරණයක් විදියට බැලුවම ඇෆ්ගනිස්ථානයේ ඇතුළු රටවල් බොහොමයක මාර්ග ඉදි කොට ඇති ආකාරය සම්බන්ධයෙන් පුළුල් අධීක්ෂණයක් කරන විට අපිට ඉතා හොඳ දැනුමක් ලැබෙනවා කඳුකර පෙදෙස් වල නායයෑම් අවම කරමින් මාර්ගය ඉදි කරන්නේ කොහොමද කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භාවිතා කර නෑ කියනවාට වඩා සුදුසුම පිළිතුර තමයි ඒවා භාවිතා කිරීමට අවස්ථාවක් ලැබුනේ නැහැ කියන එක.  මොකද මාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස කටයුතු කරන්නට ලැබුණු හොඳම අවස්ථාව තමයි මේ. කෙටියෙන්ම කියනවා නම් වීදුරුවක් හරහා දකින ලෙස පොළොව අභ්‍යන්තරය  දකින්න හැකි තරම් දියුණු තාක්ෂණයක් අපිට යොදාගත හැකි යි..

 

Exit mobile version