නිසාන් ලීෆ් විදුලි කාරයට තලන අපේ මිනිස්සු

ලංකා විදුලි රථ සමාජය හෙළිකරයි

 

ඩොලර් අර්බුදය නිසා මෙරට තුළ වාහන ආනයනය සීමා කර වසර දෙකක් පමණ ගතවී තිබේ. වාහන සේල් කෙහෙල් කැන් විකුණන තත්ත්වයට පත්ව තිබේ.ඒ අතරේ වාහනයක් තමන්ගේ කර ගැනීමේ සිහිනයේ පසුවන අය ඉකි බිඳිමින් සිටිති. මේ සියල්ල මැද පසුගියදා රජය නිවේදනය කළේ ඉදිරියේදී විදුලි මෝටර් රථ ආනයනය එනම් ඉලෙක්ට්‍රික් කාර් ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන කතාවකි. ඇත්තටම මේ වනවිට බටහිර රටවල් ගණනාවක් තමන්ගේ ඉදිරි ප්‍රවාහන සැලසුම් කාබනික ඉන්ධනවලින් විදුලිය වෙත හරවා අවසන්ය. මේ හැරවූ සැලසුම් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ වෙනුවෙන් වාහන යාවත්කාලීන වෙමින් තිබේ

ඉස්සර කිලෝමීටර 150ක් 200ක් ගිය තැන යළි විනාඩි ගණනාවක් යළ අරෝපණය කරන්නට වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ දැන් එක ආරෝපණ වාරයකින් කිලෝමීටර තුන් හාරසීයක් යන්නට හැකි වන පරිද්දෙන් තාක්ෂණික ව දියුණු වෙමින් පවතී. ඉන්ධන හල් වාහන ආරෝපණ මධ්‍යස්ථාන බවට පත් වෙමින් තිබේ. එහෙව් ලෝකයේ ශ්‍රි ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර් යන්නේ කොහාටද?


මේ ගැන කතා කරන්නේ විදුලි මෝටර් රථ සමාජයයි. එය මෙම වාහන හිමිකරුවන්. වාහන ආශ්‍රිත කර්මාන්ත කරුවන් එක්ව පිහිටුවා ගත් සංවිධානයකි.

ඔවුන් ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලි මෝටර් රථ ගැන කතා කරන රටක එයට හිමි තැන පිළිබඳව බලධාරීන්ට ඇස් අරවන මාධ්‍ය හමුවක් සංවිධානය කළේය. ඔවුන් කියන පරිදි අද විදුලි කාර් ප්‍රවර්ධනය වෙනුවට සිදුවන්නේ එය සුසානයක වළ දැමීම වැනි කටයුත්තකි. ශ්‍රි ලංකාවේ වගේම ලෝකයේ බහුලවම අලෙවි වන විදුලි මෝටර් රථය වන්නේ නිසාන් සමාගම නිපදවන ලද ලීෆ් රථයයි. විදුලි වාහන මෙරටට ගෙන්වා වසර 6ක් පමණ ගතවී ඇති අතර මේ වනවිටත් රටතුළ ඇත්තේ වාහන 5500ක් පමණ ය. ඉන් 4700ක් ම ලොව පුරා ප්‍රචලිත නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයි. මේ දිනවල විදුලි වාහන අයිතිකරුවන් අලුත් ජාවාරමකට හසුව සිටී. දැනටත් ඊට ගොදුරු වු අය බොහෝය.

මේ වනවිට නිසාන් ලීෆ් මෝටර් රථ ගෙන්වූ බොහෝ දෙනකු මුහුණ දෙන ලොකුම ගැටලුව වන්නේ එහි බැටරිය ක්ෂීණ වීමෙන් පසු යළි බැටරියක් ලබා ගැනීමය. මේ පිළිබඳව විදුලි මෝටර් රථ සමාජයේ සභාපති මහිසංක අබේවික්‍රම පවසන්නේ මෙවැනි කතාවකි. “ශ්‍රි ලංකාවේ පවතින නිසාන් ලීෆ් මෝටර් රථ බැලුවාම ඒවා මිලදී ගත්ත අයට තිබෙන ලොකුම අභියෝගය තමයි මේවාට අවශ්‍ය බැටරි ලබා ගැනීම.නිසාන් සමාගම අපට බැටරි සපයන්නේ නෑ. ඒ අය මේ රටේ නිසාන් ලීෆ් විකුණන්නේ නෑ.ඔවුන්ගේ බැටරියක් සාමාන්‍යෙයන් ඩොලර් 12,000ක් විතර වෙනවා. එය වාහනයෙන් අඩක් වගේ මිලක්. නමුත් අපට මේ බැටරි පාවිච්චි කළ ඒවා. ජපානය, නවසීලන්තය වැනි රටවලින් සාපෙක්ෂව දැරිය හැකි මිලකට ගෙන්විය හැකියි. මෙම බැටරි සාමාන්‍ය යෙන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ පරිසර අමාත්‍යංශය දැනට තහනම් කර ඇති ආනයනික ද්‍රව්‍ය අතරත් මෙම බැටරිය පැවතීමයි. මේ තහනම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අපි පරිසර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරා. නමුත් තවම විසඳුමක් නෑ. ඔවුහු බැටරිය පිළිබඳව පළමු අභියෝගය ගැන එසේ පවසති.

නිසාන් ලීෆ් හිමියන් මුහුණ දෙන දෙවන අභියෝගය ලෙස මහිසංක පැහැදිළි කරන්නේ මෙසේය. ක්ෂීණ වන බැටරිය රිසෙට් කර හෝ එහි මොඩියුල මාරුකර අලුත්වැඩියා කර දෙන පිරිසක් මේ රටේ ඉන්නවා . ඔවුන්ගෙන් ඇතැමකු අමාරුවේ වැටුණු ලිෆ් රථ හිමියන් සූරා කන තත්ත්වයට පත්වෙලා.සමහරු බොරු කරනවා අලුත්වැඩියා කර දෙන මුවාවෙන් බැටරිය අරන් එහි සුළු අලුත්වැඩියාවක් කර ලක්ෂ ගණන් ගන්නවා. ඇතැම් අය රුපියල් ලක්ෂ හතර හමාරක් විතර මේ ජවාරම්කාරයින්ට දීලා. අප මේ වෙලාවේ ලීෆ් රථ හිමියන්ට කියන්නේ මෙම ජාවාරම්කාරයින්ට හසු වන්නට එපා කියල.

ලීෆ් රථ සම්බන්ධ අලුත්ම සෙල්ලම ලෙස ශ්‍රි ලංකා විදුලි රථ සමාජය දකින්නේ මෙම විදුලි මෝටර් රථවලට හයිබ්‍රිඩ් එන්ජින් සවි කිරීමය. මෙය කිසිදු ප්‍රමිතියක් නැති වාහනයේ මූලාකෘතියට පරස්පර වූ ක්‍රියාදාමයකි. ඔවුන්ට අනුව මෙහිදි සිදුවන්නේ ටොයොටා ඇක්වා හෝ ඇක්සියෝ වාහනවල එන්ජිම හයිබ්‍රිඩ් බැටරිය ඇතුළු පද්ධතිය මෙම වාහනයට සවි කිරීමයි. මෙම සවි කිරීම්වලින් වාහනයේ සමතුලිතතාව වෙනස් වෙනවා. අනතුරු දායක තත්ත්වයක් නිර්මාණය වෙනවා. සමහරු ලක්ෂ හයකට හතකට මෙම වාහන මිලදී අරන් මෙම පද්ධති තවත් ලක්ෂ හතක් හත හමාරක් වැය කරන බව කියනවා ඒ අනුව ඔවුන් ලක්ෂ 15කට හයිබ්‍රිඩ් රථයක් ලබා දෙන බව කියනවා. මෙය තාක්ෂණිකව නිවැරදි පිළිවෙතක් නොවන බව අප මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාටත් කරුණු ඉදිරිපත් කළා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අපේ රටේ විදුලි රථ භාවිත කර්නන් දැනට අත් විඳින පළමු පෙළේ දුස්කරතාවන්ය. මීට අමමතරව තවත් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්දයෙන් පවතින දෝස රැසක් ඇත. එවැනි පසුබිමක් තුළ ශ්‍රි ලකා විදුලි රථ සමාජය පවසන්නේ හෝසෙට විදුලි කාර් මෙරටට ගෙන්වීමට බදු සහන හෝ අවසර ලබා දීමෙන් පමණක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව හෝ විදුලි රථ භාවිතයේ මුඛ්‍ය අරමුණු තෘප්ත නොවන බවය. එහිදී පවතින ප්‍රායෝගික අභියෝග මැඩලීමට සමත් වැඩපිළවෙළක් රටක් ලෙස අපට අවශ්‍ය බවය. එසේ නැතහොත් සිදුවන්නේ ලෝකය ඉදිරියට යද්දී විදුලි රථය පමණක් නොව රටම අතරමඟ නතර වීමය.

Exit mobile version