නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ඇරඹේ!

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පෙන්වා දුන්නේය.

එසේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ  අද (25) පෙරවරුවේ  පැවැති “2024  වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.


“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු  සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පවරා ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version