දිනසේන රතුගමගේ –
යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් විසින් අනතුරට ලක් කිරීම නිසා ඝාතනය වූ නාවික හමුදා සෙබලාගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් දස දෙනාට සමාව ලබා දී ඔවුන්ව නිදහස් කොට දෙන ලෙස ධීවරයින්ගේ ඥාතීන් රාමේස්වරන් දේශපානඥයින්ට ඊයේ (30) ලිපි බාර දෙමින් ඉල්ලීම් කොට තිබේ.
එම ලිපිවල සඳහන් කරුණු ගැන සලකා බලා ශ්‍රී ලංකා රජයේ වගකිවයුත්තන්ට දැණුම් දී තම ඥාතීන් අත් අඩංගුවෙන් මුදවා දෙන ලෙස මේ පිරිස රාමේස්වරන් දේශපාලනඥයින්ගෙන් ඉල්ලා ඇත.
ඔවුන් ලිපි බාර ගනිමින් ප්‍රකාශ කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බවය.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා හරහා මධ්‍යම රජයේ වගකිව යුතු අමාත්‍යවරුන් දැනුම්වත්කොට ඔවුන් ලවා ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඉන්දීය ධීවරයින් දස දෙනා නිදහස් කර ගැනීමට උත්සහ කරන බවටද රාමේස්වරන් දේශපාලනඥයින් දැනට අත් අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින්ගේ ඥාතීන්ට පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.
රාමේස්වරන් දේශපාලනඥයින් වෙත බාර දෙන ලද ලිපිවල පිටපත් රාමෙස්වරන් ධීවර සංගම්වල නියෝජිතයින් වෙතද බාර දී ඇත.
නාවික හමුදා සෙබලාගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් දස දෙනා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි මස 8 වෙනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරණ ලදී.