නඩු 79ක වග උත්තර කරුවන් නිදහස් කරන්න කොමිසමෙන් නිර්දේශ කරලා..

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම අධිකරණයට කළ ලිඛිත අපහාසයක්... ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පවසයි

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අනුව මහාධිකරණයේ විභාග වන නඩු 61ක වගඋත්තරකරුවන් ඇතුළු සමස්ත නඩු 79ක වගඋත්තරකරුවන් නිදහස් කරන ලෙස නිර්දේශ කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පවසයි.

මෙම  කොමිෂන් සභා වාර්තාව මගින් මේ රටේ නීතිය හෑල්ලුවට ලක්වී එය බලපෑමට ලක්වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම අදහස් ප්‍රකාශයට පත් වුණේ  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය විසින් අද (31) පිටකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ය.


සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල පැවසුවේ මෙම කොමිෂන් සභා වාර්තාවට ජනාධිපතිවරයා විසින් විෂය පථයක් ලබා දී  තිබුණත් එම විෂය පථයට අයත් නැති උදය ගම්මන්පිල වැන්නවුන් ද සිය නඩු වලින් නිදහස් කර ඇති බවය.

“ ගම්මන්පිල මහතාට අදාළව මහාධිකරණයේ හා මහේස්ත්‍රාත් උසාවියේ විභාග වෙමින් ඇත්තේ පෞද්ගලික ව්‍යාපාරික ගනුදෙනුවකට අදාළ නඩුවක්. නමුත් මෙම කොමිසම මෙම සියලු චෝදනාවලින් ඔහු මුදා හරින ලෙස නිර්දේශ කරනවා. ඔහු විෂය පථයට අයත් කෙනෙක් නෙමෙයි. ඔහු කැබිනට් අමාත්‍යවරයෙක්. “

“තවත් සිදුවීමක් තිබෙනවා. මහින්ද කහඳගමගේ නාගරික මන්ත්‍රීවරයෙක්. ඔහුත් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. පිල්ලෙයාන් අමාත්‍යවරයාට අදාළ සිදුවීමත් එලෙසමයි. බැසිල් රාජපක්ෂට අදාළ සිදුවීමත් එලෙසමයි. මෙබඳු නිදසුන් ගණනාවක් තිබෙනවා. මේ කොමිසමට ලැබුණු බලය ඉක්මවා ගිය ස්වභාවයක් දකින්නට පුළුවන්. “

“ තවත් කරුණක් වන්නේ, මෙම කොමිසම මගින් අධිකරණය ඉදිරියේ විභාගයට ලක්වෙමින් පවතින නඩු පිළිබඳ නිර්දේශ ලබා දීමයි. දුමින්ද සිල්වාට අදාළ නඩුව විභාග වූ ආකාරය වැරදියි කියලා ඔහු මුදා හරින ලෙසට මෙයින් නිර්දේශ කර තිබෙනවා. එම නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ විසින්ද තීන්දුවක් දී අවසන් වූවක්. මෙම කොමිසමේ සභාපතිවරයාත් එම කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස සේවය කළා.

දැන් මෙම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට තවත් ජනාධිපති කොමිසමක් පත්කර තිබෙනවා. එම කොමිසමේ සභාපති ලෙස පත් කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා දුමින්ද සිල්වා මහතාට අදාළ නඩුවේ විනිසුරු මඩුල්ලේ සිටියා. එතුමා මෙම නඩුව සම්බන්ධයෙන් කවරාකාරයේ නිර්දේශයක් ලබා දෙනු ඇත්දැයි අපි බලා සිටිනවා.“ යැයි නීතිඥ සුනිල් වටගල කීවේය.

ඔහු පවසන්නේ පසුගිය වකවානුවේ අධිකරණයට සිදුවූ බව කියන වාචික අපහාස නොව, දැන් සිදු වෙමින් ඇත්තේ කොමිෂන් වාර්තාවලින් සිදුවන ලිඛිත අපහාස බවය. විත්ති කරුවන් නිදහස් කරන්නට බලකරමින් පවතින නඩුවලට ඇඟිලි ගැසීමත්,  වරක නීතිපතිවරයා විසින්ම කරුණු සලකා බලා පවරන ලද නඩු නැවත සලකා බැලීම සඳහා නැවත නීතිපතිවරයා වෙත යැවීමට නිර්දේශ කරීමත්,  පෙරදී වංචා දූෂණවලට එරෙහිව කටයුතු කරන ලද නිලධාරීන්  විත්තිකරුවන් කර  වෙනත් කොමිසමක් පිහිටුවා ඔවුන්ට  දඬුවම් කරන්නැයි නිර්දේශ කිරිමත් මේ කොමිසමෙන් සිදු වී ඇතැයි  නීතිඥවරයා පවසයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතීඥ ගසාලි හුසෙන් පවසන්නේ  නඩුවකට සම්බන්ධ නොවූ, නඩු වාර්තා අධ්‍යයනය නොකළ අයෙක් නඩුවක් සම්පූර්ණ වැරදි යැයි කියා සිටීම මුලුමනින්ම වැරදි දෙයක් බවය.

“ මමත් වසර 12ක කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළා. නීතිපති දෙපාර්තමේනතුව වෙත ලැබෙන විමර්ශන වාර්තාවක් සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කර ඉන් අවසානයේ සාර්ථක නඩුවක් ගෙන යා හැකි දැයි තීරණය කරනු ලබනවා. ඉන් අනතුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලෙසට පොලීසියට උපදෙස් දෙනු ලබනවා. වරද බරපතළනම් නිතිපතිතුමා විසින් අධිචෝදනාවක් ඉදිරිපත් කරනවා. ඒ අනුව නියමිත මහාධිකරණයක දෙපාර්ශ්වය කැඳවා නඩුවක් විභාග කර තීන්දුවක් ලබා දෙනවා. මේ තීන්දුවලින් අතෘප්තියට පත් කෙනෙකුට ඉහළ අධිකරණවලට අභියාචනය කිරීමේ අවස්ථාව තිබෙනවා.“

“ දැන් මේ නඩුවට සම්බන්ධ නොවූ, නඩු වාර්තා අධ්‍යයනය නොකළ අයෙක් මෙම නඩු සම්පූර්ණ වැරදි යැයි කියා සිටීම සම්පූර්ණ වැරදි දෙයක්. අධිචෝදනා පත්‍රයත්, අධිකරණයේ තීන්දුවත් වැරදි යැයි කිව නොහැකියි. මේක අධිකරණයට පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවටම කරන ලද අපහාසයක්. අතෘප්තියට පත් පාර්ශ්වයන් ඉහළ අධිකරණ බලා ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය අවස්ථා තිබුණා. එසේ තිබියෙදී දැන් නැවත වරක් කියනවා ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න කියලා. නඩු පවරන අවස්ථාවේ තිබූ තත්වය දැන් නැවත යැවූ විට වෙනස් වන්නේ කොහොමද? “

“මේ සියලුම නඩු නිසි ක්‍රියාදාමය තුළ විභාග වූ ඒවායි.  අපි නීතිපතිවරයාගේ තීරණය සමග එකඟ වීමට හෝ නොවීමට හැකියි. එසේ නොවේනම් කෙනෙකුට අධිකරණ ක්ෂේත්‍රය තුළම සහනයක් ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. අධිචෝදනා ලැබූවන්ට අධිකරණයට ගොස් එම තීරණ අභියෝගයට ලක් කිරීමට අවස්ථාව තිබුණා. “

“දැන් නඩුවක වින්දිත හා සැකකාර වශයෙන් පාර්ශ්ව දෙකක් තිබෙනවා. දැන් මේ වාර්තාවේ කියන්නේ වින්දිත පාර්ශවයට නඩු පවරන ලෙසයි. පැමිණිලිකරු බොරු කියා ඇත්දැයි පරීක්ෂණයක් කළ යුතුයි. එසේ නැතිව පැමිණිල්ලක් කළ පමණින් නඩුවකට යා නොහැකියි. දැන් වින්දිතයාට දඬුවම් දීමට නිර්දේශ කිරීම අපි තේරුම් ගන්නේ කොහොමද? ඒක සාධාරණද? දැන් ඒ පරීක්ෂණය තබන්නේ කවුරුන් විසින්ද? ඒ පොලීසිය විසින්ම නේද? නැවත අධිචෝදනා පත්‍රයක් යවන්නේ ඒ නීතිපතිතුමාම නේද? එසේ කිරීම එම නීතිපති දෙපාර්තමේන්තුවට කරන අපහාසයක් නෙමෙයිද? “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම   ජ්‍යෙෂ්ඨ නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතීඥ මංජුල බාලසූරිය, නීතීඥ අකලංක උක්වත්ත, නීතීඥ චරිත් ගල්හේන යන නීතීඥවරුද එක්ව සිටියහ

Exit mobile version