ධම්මික බණ්ඩාර වෙද මහත්තයා කොවිඩ් පැණියෙන් දළදා සමිඳු පුදති… අස්ගිරියටත් පැණියෙන් පූජා…

අද  (15) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට ගිය ධම්මික බණ්ඩාර වෙද මහත්මයා   දළදා වහන්සේ වැඳපුදා ඖෂධීය කොවිඩ් පැණිය දළදා සමිඳුන් වෙත පූජා කොට අනතුරුව  දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කතා බහ කර අස්ගිරි මහා නායක හිමියෙන් බැහැ දැකීමටත්  ගියේය.

මෙහිදී විශේෂ ප්‍රකාශක් කළ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ  ධම්මික් බණ්ඩාර මහතාගේ පැණියෙන් කොවිඩ් රෝගීන් සුව කළ හැකි බව ඔහු   පවසන්නේ නම් බලධාරීන් කළ යුත්තේ කඩිනමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීම බවත් මින් රෝගය සුවකළ හැකි නම් එය රටක් ලෙස අප ලබන විශාල ජයග්‍රහණයක් බවත් පැවසූහ.

විදේශ රට වලින් එන දේවල් කිසිදු වග විභාගයකින් තොරව ඉස්තරම් දේ ලෙස පිළිගන්නා බොහෝ දෙනා  දේශීය වශයෙන් වටිනා දෙයක්  නිෂ්පාදනය කළහොත්    ඒ සම්බන්ධයෙන් නිසි වටිනාකමක් නොදී විවේචනය කිරීමට පෙළඹීම  කනගාටුවට කරුණක් බව ද කී උන්වහන්සේ    වගකිව යුතු අංශ කළ යුත්තේ මෙහි ගුණ අගුණ පිළිබඳ රටට කඩිනමින් ස්ථිර ප්‍රකාශයක් කිරීම බව කීහ.


තමන් දළදා වහන්සේ වැඳ පුදාගෙන කොරෝනා ව්‍යසනයෙන් පීඩා  විඳින මෙරට පමණක් නොව ලෝකවාසී ජනතාව සුවපත් කිරීමට ආශීර්වාද ලැබේවා ප්‍රාර්ථනා කළ කී ධම්මික බණ්ඩාර වෙද මහත්මයා  කොවිඩ් රෝගය මර්දනය කිරීම සඳහා සොයාගත් ඖෂධය   මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබීය.

මෙම වෛසරයේ වැඩි බලපෑම එල්ලවී තිබෙන්නේ මහ මන්දිර වල ජීවත්වන අයට වඩා දුප්පත් අසරණ එදාවේල අමාරුවෙන් සරි කරගන්නා පිරිසට බවත් මේ නිසා ධම්මික බණ්ඩාර මහතාගේ උත්සහාය සාර්ථක වුවහොත් එය මේ රටේ අසරණ ජනතාව අස්වැසිල්ලක් වනු ඇති බවත් මෙහිදී තවදුරටත් නා හිමියෝ ප්‍රකාශ කළහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ අදහස් දක්වමින් මෙරට දේශීය හෙළ වෙදකම ඉතා ඈත අතීතයේ සිට පැවත එන අපටම විශේෂිත වූ අංගයක් යැයි කීහ.

ලෝකයම කොවිඩ් වසංගතය පරාජය කරන්නට පරීක්ෂණ සිදුකරමින් සිටින අවස්ථාවක අපේ රටේ දේශීය වෙදකම තුළින් ඊට ප්‍රතිකර්මයක් සොයා ගැනීම අගය කරනු වෙනුවට අද සිදු කෙරෙන්නේ එය හෙළා දැකීම බවද ධම්මානන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ධම්මික බණ්ඩාර වෙද මහත්මයා වැඩි දුරටත් කීවේ   මෙම පැණිය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන විද්වතුන් ඒ පිළිබඳ වාර්තාව ඉතා කඩිනමින් ලබාදී ජනතාව මුහුණ පා සිටින ව්‍යසනයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා තමන්ට අවස්ථාව ලබාදිය යුතුව බවය.

Exit mobile version