දේශපාලන ස්ථාවරත්වයක් නැතිව IMF යන්න බෑ!

IMF

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සිය ආධාර ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමේදී රටේ දේශපාලන ස්ථාවරත්වය අනිවාර්යයෙන්ම පැවතිය යුතු බව අවධාරණය කර ඇති හෙයින් රට තුළ කඩිනමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට අවශ්‍ය ව්‍යවස්ථානුකූල පියවර ගන්නා ලෙස ශ්‍රි ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා විස්තීරණ අරමුදල් පහසුකම් ට අදාල කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් කිරීමට ආසන්නයේ සිටින අතර ඊට අදාල කටයුතු සිදුවන බවත් පසුගියදා ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හැකි ඉක්මනින් ඉවත් වී ඉදිරි දේශපාලනික ස්ථාවරත්වයක් වෙනුවෙන් වන කටයුතුවල සහය දිය යුතු බව ඔවුහු අවධාරණය කරති.

රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ මධ්‍යයට නිවේදනයක් නිකුත් කර ඇති ශ්‍රි ලංකා මහ බැංකුවෙ විධායක නිලධාරීන්ගේ සංගමය මෙම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ රටේ ආර්ථික පරිහාණියට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පාලකයන් බලයෙන් ඉවත් කිරීම සඳහා සිදු කරන ලද මහජන අරගලයට තම සංගමයද සහය පළ කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද රට මුහුණ දෙමින් සිටින බරපතල ආර්ථික පරිහාණියට හේතුව මෙ දේශපාලකයන් ඇතුළු වගකිව යුත්තන් විසින් ගන්නා ලද වැරදී තීරණ බව පෙන්වා දෙන මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය එවැනි තත්ත්වයක් තුළ පවා මහ බැංකුවේ වෘත්තිකයන් ලෙස තමන් සිය සීමාව තුළ රටේ ආර්ථික තත්ත්වය අයහපත් තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද එහිදී ඔවුන් සිහිපත් කර තිබේ. රට දරුණු ලෙස බිඳ වැටෙමින් පවතින මෙම අවස්ථාවේ රටේ මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිවලට අදාල තීරණාත්මක ව්‍යූහාත්මක වෙනස්කම් වහා සිදු කළ යුතු බවත් මේ සියල්ල කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් එම සංගමය පෙන්වා දෙන අතර ඔවුන් අවධාරණය කරන්නේ මේ සඳහා ද රටේ දේශපාලනික සථාවරත්වයක් හැකි ඉක්මනින් අතිකරලීම වර්තමානයේ ප්‍රමුඛතම කාර්යක් විය යුතු බවය.

Exit mobile version