දේශපාලකයින්ගේ පොලිස් ගුඩ්ඩන් අතලොස්සක් මරණය සැලසුම් කරද්දි පොලිසියෙ සැබෑ සහෝදරවරු අති බහුතරයක් මා බේරා ගත්තා… වසන්ත මුදලිගේ…

තරු පටි පැළඳීමේ අභිලාෂය සහිතව කටයුතු කරන අතේ ඇඟිල් ගණනින් කිව හැකි දේශබන්දු තෙන්නකෝන්ගේ සහ ටිරාන් අලස්ගේ ගුඩ්ඩන් අතලොස්සක් හැරෙන්නට පොලිස් දෙපාර්තමේන්තුවේ අති මහත් බහුතරයක් වූ සහෝදර සහෝදරියන් නොවන්නට අද තමන්ට මෙතැනට පැමිණ මෙසේ කතා නොකරන්නට ඉඩ කඩ තිබුනේ යැයි අන්තර් වීශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02)  කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවක් හමුවේ ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේ දී  ඔහු තමන් පොලිස් අත්අඩංගුවට පත් වූ දිනයේ සිට නීතිය අවභාවිතා කරමින් දේශපාලනයේ අවශ්‍යතාවය අනුව හැසිරුණු යම් යම් පොලිස් නිලධාරීන් නම් ගම් සහිතව හෙළි කරනු ලැබුවේය.
තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් විස්තර කරමින් ඔහු කළ සම්පූර්ණ හෙළිදරව්ව මෙසේය.

“අපිව 2022 අගොස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලිසියෙ විශේෂ ඒකකයේ පිරිසක් විසින්. මාව අත්අංගුවට ගත්තේ පෑලියගොඩ පොලිසියේ ඒඑස්පී මහින්ද විලෝආරච්චි කියන පුද්ගලයා.
ඔහු මාව වරෙන්තුවකට කියලා අත්අංගුවට අරගෙන යනවා පෑලියගොඩ පොලිසියට. අරන් ගිහින් කිසිම පැහැදිලි කිරීමක් නැතිව පොලිසිය ඇතුළෙ හංගලා වගේ තියන් ඉඳලා අනෙක් පහුවදා පාන්දර කවුරුත් අවදි වෙන්නත් කලින් සිවිල් පිට වාහනයක දාගෙන රෙද්දකින් ඔතන් අරන් යනවා එඬේරමුල්ල පොලිසියට.

එඬේරමුල්ල පොලිසියට අරන් යනකොට එඬේරමුල්ල පොලිසියෙ සියලු සැකකරුවො පොලිසියෙන් අයින් කරලා. එඩේරමුල්ල පොලිසිය හිස් කරලා. අමුතු විදිහකට අපිව අරන් යනවා එඬේරමුල්ල පොලිසියට.


මහින්ද විලෝආරච්චිගේ මරණ තර්ජනය –

එඩේරමුල්ල පොලිසියට අරන් ගිහින් ඒඑස්පි මහින්ද විලෝආරච්චි කියන පුද්ගලයා මේසෙක ඉඳගෙන පිස්තෝලයක් මගේ පැත්තට හරවලා පේන්න තියලා මගෙන් මෙහෙම අහනවා.

“විජේවීරට වුන දේ උඹට මතක ද?. විජේකුමාරතුංගට වුන දේ උඹට මතක ද?. ඒ නිසා උඹටත් ඒ ටිකම තමයි අපිට කරන්න ඕනකම තියෙන්නෙ. හැබැයි මේ තත්ත්වය නිසා උඹව ඝාතනය කරන්න විදිහක් නෑ. ඒ නිසා තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන්” කියලා ඒඑස්පී මහින්ද විලෝආරච්චි කියනවා.

එහෙම මරණවා කියලා තර්ජනය කරලා ඉවරවෙලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කළා. උසාවියට ඉදිරිපත් කරන්නෙ නැතිව, ප්‍රශ්නකිරීම් කරන්නෙ නැතිව, කොහෙටවත් අදාල නැති පොලිසියක් අස්සෙ අපිව දිගටම තියාගත්තා.
ඊට පස්සේ එතනින් එහාට අපිව වාහනවල දාගෙන කවුරුත් දන්නෙ නැති විදිහට වෙරළබඩ පොලිසිය පැත්තෙ තියන පොලිස් නේවාසිකාගාරයකට අරන් ගියා.

පොලිස් නේවාසිකාගාරයට අරන් ගිහින් බිම් මහලෙ කළුවර කාමරයක දාලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නෙ නැතිව රෙදිවලින් වහලා පැය ගානක් අපිව තියනවා.

මේ දවස් ගානක් තිස්සේ මෙහෙම තැන් තැන්වලට මාරු කරලා, මරණ තරජ්න කරමින් අවසන් කෑම වේල කන්න ඕනද අහලා මොකද කරන්නෙ, නීතිඥවරයෙක් හම්බවෙන්න බැරි විදිහට සිවිල් සංවිධාන නියෝජිතයෙක් හම්බවෙන්න බැරි විදිහට, මානව හිමිකම් කොමිසමේ නිලධාරියෙක් හම්බවෙන්න බැරි විදිහට වෙන තැනකට අරන් ගිහින් තියන්න අවශ්‍ය සියලු දේවල් සැලසුම් කළා පෑලියගොඩ පොලිසිය.

සර් මූට මොනව ද කරන්න ඕන..

21 උදේ වරුවෙදි මේ පොලිසිය අය අපව වාහනයක දාගෙන අරගෙන යනවා නවගමුව දේවාලය ලඟ තියන වාහන පාර්ක එකෙන් අඩි 10ක් පහළ පාළු ගඟ අයිනට. අරන් ගිහින් රෙද්දකින් වහලා මාංචුත් දාලා වටේ ගාර්ඩ් එක දාලා දුරකතන ඇමතුම් ලබා ගන්නවා අදාල නිලධාරියා.

“සර් අපි අදාල තැනට ඇවිත් ඉන්නේ. අපි මොකද කරන්න ඕන” කියලා උසස් නිලධාරියෙකුගෙන් අහනවා.
එහෙම වාහනයක් සැක සහිතව ඒ නවගමුව දේවාලයේ වාහන පාර්ක් එකට පහළ ගඟ අයිනෙ නවත්තලා තිබ්බට පස්සේ නවගමුව දේවාලය ආරක්ෂාවට හිටිය පොලිසියෙ මහත්තතයා ඇවිත් බලනවා සැක සහිත වාහනයක් ඇයි මෙතන තියෙන්නෙ කියලා.

එහෙම වුනාට පස්සේ අපිව අරන් ගිය පොලිස් නිලධාරීන් කියන්නෙ “යකෝ අන්න අරූ එනවා. ඌ එන්න කලින් ඉක්මනට එළවපන්” කියලා.

එතකොට නවගමුව පොලිසියෙ අයවත් දන්නෙ නෑ නවගමුව දේවාලය ලඟට අපිව අරන් ගිහින් ගඟක් පල්ලෙ දාගෙන හිටියා කියලා. එහෙම තමයි ඒ මැදිහත් වීම් කළේ.

ඒ මැදිහත්වීම් කරලා නිශ්චිත නිලධාරීන් කිව්වා පහුගිය කාලෙ පාතාලෙ කියලා නම් ප්‍රසිද්ධ කළ බොහෝ අය අපි ඝාතනය කළේ මෙහෙමයි. මධුෂ් ඝාතනය කළේ මෙහෙම, ප්ලෑන් කළේ මෙහෙම, සීසීටීවී නැති තැන් අපි හෙව්වෙ මෙහෙම කියලා… “මේක තමයි සූත්තරේ. ඒ නිසා වැඩිපුර සද්ද දාන්න එපා” කියලා මට කිව්වා.

පොලිස්පතිවරයාට ප්‍රශ්නයක්…

පැය 72ක් රඳවා තබා ගත්තා කිසිිම උසාවියකට ඉදිරිපත් නොකර. වරෙන්තුවකට අත්අඩංගුවට ගත්ත අපිව ත්‍රස්වාදය වැළැක්වීමේ පනතෙ රැඳවුම් නියෝග අත්සන් කරනකම් පොලිසිය කළේ කොහොමද අපිව දනගස්සන්නෙ කියලා සැලසුම් කරපු එක.

පොලිස්පතිවරයාගෙන් සහ පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් මේ ප්‍රශ්නයෙ දි අපි අහනවා. විමර්ශනයකට අත්අංගුවට ගත්තා නම් නවගමුව දේවාලය වාහන පාර්ක් එක, නවගමුව දේවාලය අසල තියන ගඟ අයින වෙරළබඩ පොලිසියේ පොලිස් නිවාසයේ බිම් මහළ, එඬේරමුල්ල පොලිසියේ පිටිපස්සෙ තියන කැලෑව විමර්ශන ස්ථාන ද?. මේ සම්බන්ධව නිශ්චිත උත්තරයක් පොලිස්පතිවරයා, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබා දිය යුතයි. ඇයි අපි මේ තැන්වලට අරන් ගියේ, ආයුධ පෙනන්ලා තර්ජනය කළේ ඇයි කියලා අපට දැන් පැහැදිලි කළ යුතුයි.

මිනීමරු ඒඑස්පී රත්නායක

පස්සෙ රැඳවුම් නියෝගයක් අරන් අපිව ත්‍රස්ත මර්ධන ඒකකයට භාර දෙනවා. ත්‍රස්ත මර්ධන ඒකකයට භාර දුන්නට පස්සෙ ත්‍රස්තමර්ධන ඒකකයේ ඒඑස්පී රත්නායක තමයි මේ විමර්ශන ටික කරන්න බාර ගත්තේ.

මේ රත්නායක කියන නිලධාරියා කවුද කියලා අපි අනාවරණය කරන්නම්.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඒඑස්පී රත්නායක කියලා කියන්නේ ආමි සුරංග නැමති සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ අත්අඩංගුවේ සිටිය දී ඔහුව ඝාතනය කිරීමට අදාලව දැනටත් යන නඩුවක ප්‍රධාන මිනිමැරම් චූදිතයා . ඔහු තමයි ඒඑස්පී රත්නායක කියන්නෙ.

දේශබන්දුගේ ගුඩ්ඩන් සහ පොලිසියේ සහෝදරවරු

මාර විහිලු සහගත කාරණාව තමයි ඝාතනයකට අදාල ප්‍රධාන චූදිතයට තමයි කිසිම සාක්ෂියක් නැති නඩුවක් ඔප්පු කරන්න කියලා සාක්ෂි හොයන්න විමර්ශනය භාර දෙන්නෙ.

එක පැත්තකින් පෑලියගොඩ පොලිසියෙ මහින්ද විල්ලොආරච්චිලා තව පැත්තකින් ඒඑස්පී රත්නායකලා මෙහෙම මැදිහත් වෙද්දි අපි ඉතා වගකීමකින් කියනවා පොලිසියෙ ආදරණීය සහෝදර සහෝදරියො විශාල ප්‍රමාණයක් අපිව ආරක්ෂා කළා. හොර පාරෙන් වෙන වෙන පොලිසිවල කැලෑ අස්සෙ අපිව දානකොට ඒ පොලිසිවල ඉන්න සහෝදර සහෝදරියො විශාල ප්‍රමාණයක් අපිව ආරක්ෂා කළ නිසා තමයි අදටත් අපිට ඔබ ඉස්සරහා කතා කරන්න පුලුවන් වුනේ.

ඒ නිසා මේ ඇඟිල්ල දික් කරන්නේ පොලිසියෙ ඉන්න සහෝදර සහෝදරියො සියලු දෙනාට නෙමෙයි. තරු පටි ගහගන්න දේශබන්දුලගෙ ටිරාන් අලස්ලගේ ගුඩ්ඩො විදිහට ඉන්න අදටත් පරාජිත රාජපක්ෂලාගෙ රූකඩ විදිහට ඉන්න, තවමත් ඔවුන්ට කඩේ යන අතේ ඇඟිලි ගානට ඉන්න අතලොස්සක් තමයි මේ සියලු මැදිහත්වීම් කළේ.

බොරු සාක්ෂි හැදීම

ඒ වගේම විමර්ශනය කරලා දවස් 90ක් විතර. කිසිම සාක්ෂියක් නෑ. රිමාන්ඩ්ගත කළා තව දවස් 90ක් විතර. ඒත් සාක්ෂි නෑ.

විහිළු සහගත කාරණාව තමයි පොලිසිය ඉන් පස්සේ ඉදිරිපත් කළා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක්. නඩු නියෝගයෙදි ඔබ දකින්න ඇති සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවෙ මතු කරපු කරුණ.

ඉතා නිශ්චිතව කියන්න ඕන… දැන් ත්‍රස්ත මර්ධන ඒකකය මොකද කරලා තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහගෙ උවමනාවට ටිරාන් අලස්ගෙ උවමනාවට අපිව කොටු කරගන්න බොරු සාක්ෂි නිර්මාණය කරපු එක.

කැරළි මර්ධන ඒකකයේ ඒඑස්පී අජන්ත රොද්‍රිගූ කියන නිලධාරියා බොරු සාක්ෂි දෙනවා බෙල්ලෙන් ඇදන් ගිහින් මරන්න තර්ජනය කළා කියලා. එතකොට ඒඑස්පී අජන්ත රොද්‍රිගූ බෙල්ලෙන් ඇදන් ගිහින් මරන්න තර්ජනය කළා කියනවා පොලිස් මූලස්ථානය ඉස්සරහදි. අපි අහනවා අනික් පොලිසිය මහත්තුරු කොහෙද හිටියෙ එහෙම වෙනතුරු. ඒක වෙලා තියෙන්නෙ අජන්ත රොද්‍රගූට විතරයි. වෙන කාටවත් නෑ.

අපිට බොරු සාක්ෂි නිර්මාණය කරලා එක දිගට අත්අඩංගුවෙ තබා ගැනීම කරන්න හැදුවේ. හැබැයි ආණ්ඩුවෙ සැලසුම එහෙම තිබුණට මේ රටේ සියලු දෙනා කළ මැදිහත්වීම ඇතුළෙ නිදහස් වීමට අදාල වටපිටාව නිර්මාණය වුනා.

නමුත් තවම මර්ධනය ඉවර නෑ. මර්ධනය කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්නෙ කොහොම ද කියලා තවමත් සැලසුම් සකස් කරමින් ඉන්නේ.”

සටන ඉවර නැති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරනතුරු මේ සටන දිගටම පවත්වාගෙන යන බවත් ඔහු කීවේය.

“බොරු චෝදනා දාලා අත්අඩංගුවට අරන් තියන උතුරේ සහෝදරවරු, දකුණේ සහෝදරවරු සියලු දෙනා නිදහස් කරනතුරු මේ අරගලය දිගටම යනවා. ” ඔහු කීවේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version