දිවුලපතාන ආදිවාසී ඇත්තනුත් සෙන්තිල් ගේ නියමයෙන් වගා බිම්වලින් එළියට!…

ලෝක ආදිවාසී සමුළුවට මේ අවනඩුව ඉදිරිපත් කරන බව ආදිවාසී නායක මොරාන වරිගේ ගුණවර්ධන ඇත්තෝ කියති...

මනම්පිටිය නිමල් ජයරත්න –  

වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන් එම ඉඩම් වලින් පලවා හැරීමට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්ගේ, උපදෙස් අනුව ක්‍රියා කරමින් සිටින බව මහවැලි බී කලාපයේ මාදුරුඔය දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති. 

යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන් දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, මාවනාවෙල, හේනානිගල, රතුගල, දඹාන, රත්කිඳ, ඇතුළු ප්‍රදේශවලින් පැමිණ 2009 සිට වර්ෂා ජලයෙන්  හේන්වගාව   නිදහසේ සිදුකරගෙන ගියද එය වළක්වා තමුන් වගා බිම් වලින් පන්නා දැමීමට කටයුතු කරන බව එම ගොවීහු පවසති.

දිවුලපතාන ගම්මානයේ ආදිවාසි නායක මොරාන වරිගේ ගුණවර්ධන

නැගෙනහිර පළාතේ කිරි ගවයින් මෙම භූමියට නිදහස් කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්  ගේ උපදෙස් අනුව ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ නිලධාරීන් පිරිසක්  කටයුතු කරන බවද දිවුලපතාන ගම්මානයේ ආදිවාසි නායක මොරාන වරිගේ ගුණවර්ධන   සඳහන් කළේය.

1983 වර්ෂයේ පැවති යුදමය වාතාවරණය සමග ප්‍රදේශයේ පාරම්පරික හේන් වගාවේ නිරත පවුල් 1800 කට වැඩි පිරිසක් විවිධ පළාත්වලට විසිරී ගිය බව බව ඔහු පැවසුවේය.


යුද්ධය නිමාවීමත් සමඟ 2009 වසරේ පැමිණි තමන් හේන් වගාවේ නිරත වු මේ වෙනවිට එම භූමි වලින් තමන් පලවා හැරීමට ක්‍රියා කිරීම බරපතළ මානව හිමිකම් කඩවීමක් බවද මොරාන වරිගේ ගුණවර්ධන   කීවේය,

දිවුලපතාන ගම්මානයෙ අද (13)  පැවති මාධ්‍ය හමුවකදී ආදිවාසී නායකයා මේ බව පැවසුවේය.

දිවුලපතාන ගම්වාසීන් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්…

දිවුලපතානන ගම්මානයේ පවුල් 50ක් පමණ යන එන මං නොමැතිව අසරණ වී සිටින බවත්, වර්ෂා කාලයේදී තමන් වට්ටක්කා කැකිරි, පිපිඤ්ඤා, මඤ්ඤොක්කා, තල,කුරහං, වී, වගාව ඇතුළු විවිධ හේන් වගාවන් සිදුකර ගෙන ගිය බවත්, ඔහු පැහැදිලි කළේය.

වර්ෂාව  නොමැති කාලවලදී ඉදල්, කොහු,වංගෙඩි නිෂ්පාදනය කරමින් ජීවිකාව කරගෙන ගිය බව කී ආදි වාසී නායකයා  මාදුරුඔය දිවුලපතානට කිරි ගවයින් මුදා හැරීමේ අරමුණින්, තමන් ප්‍රදේශයෙන් පලවා හැරීම බරපතළ අසාධාරණයක් යැයි පෙන්වා දුන්නේය.

පලවා හරින්නට හදන ගැමියන්ගේ දූගී නිවාස..

ඊට රජය මැදිහත්වී කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් තම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් හරහා ආදිවාසී සමුළුවට මෙන්ම මානව හිමිකම් සංවිධානවලට මේ පිළිබඳව දැනුම්දීමට කටයුතු කරන බවද මොරාන වරිගේ ගුණවර්ධන   කීය.

තමන් ඉල්ලන්නේ රජයෙන් අස්වැසුමවත්, රැකියාවන් හා  ආධාරවත් නොව ජීවත්වෙන විමේ අයිතිය වෙනුවෙන් හේන් වගා කටයුතු කරමින් බඩ වියත රැකගැනීමේ අයිතිය බවද දිවුලපතාන ගම්වාසීහු සඳහන් කළහ.

වසර ගණනාවක සිට හේන් වගාකරමින් පදිංචිව සිටි මෙම දිවුලපතාන ගම්වාසීන් බලහත්කාරයෙන් ඉවත් කිරීම පිලිබඳ අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඔවුන් පදිංචිව සිටින්නේ නීතියානුකූලව නොවන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඉඩම් රජයේ බවත්, ප්‍රදේශවල අදාල පුද්ගලයන් මායිම් සලකුණු කර ගනිමින් සිටින බවත්, ඉදිරි වර්ෂා කාලයේදී ඒ පවුල් සඳහා බඩඉරිඟු වගා කිරීමටවත් අවස්ථාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

Exit mobile version