දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ සුළං..

බදුල්ල, අනුරාධපුර, අම්පාර, මන්නාරම, කුරුණෑගල,පුත්තලම, නුවර ජලාශ වාන් දමයි...

තුෂරී කළුබෝවිල

පවතින වැසි හා අඳුරු ස්වභාවය තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ හැකි බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය මෙයට හේතු වන අතර එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි, සුළං, අකුණු අනතුරු, ජලගැලීම්, නායයාම් ආදි විපත් ද ඇති වන බව කාලගුණය විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා “ලංකසර” ට කීවේ ය.

උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව හා මාධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව පැවසේ.


වැසි සමඟ තද සුළං, අකුණු අනතුරු ද ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.

කඳුකර ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, නව දිය උල්පත් මතු වීම්, නායයාම් ආදිය ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ ව විමසිලිමත් වියයුතු වේ.

මේ අතර ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ උල්හිටිය ජලාශයේ වාං දොරටු 7ක් විවර කර ඇති අතර ඒ හේතුවෙන් උල්හිටිය, තෙල්දෙනිය වැනි ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

උතුරු මැද පළාතේ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ද ජල මට්ටම ඉහළ යාමෙන් එහි වාං දොරටු 4ක් ද තබ්බෝව ජලාශයේ ද වාං දොරටු 4ක් විවර කර තිබේ. එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වලට ද එයින් බලපෑම් ඇති වේ.

මීට අමතරව මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, බෝඹුරුඇල්ල, කන්දෙඇළ, මාපාකඩ, මොනරඇළ, නවකිරිඇල්ල, රුගම් ඇල්ල ආදි ජලාශ රැසක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, රාජාංගනය, යාන් ඔය, තුරුවිල ජලාශ ද අම්පාර දිස්ත්‍රික්කයේ රොට්ටිකුලම, තම්පිටිය ජලාශ ද මහනුවර දිස්ත්‍රික්කයේ දේවහූව, නාලන්දා, වීමැඩිල්ල ජලාශ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, බතලේගොඩ, අඹකොළ වැව ජලාශ ද පුත්තලමේ තබ්බෝව හා ත්‍රිකුණාමලයේ මහාදිවුල් වැව හා වාං ඇළ ද මන්නාරම දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක් ද පිටාර මට්ටමේ පවතින බැවින් ඒවායේ වාං දොරටු විවර කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර ජනයා දැඩි ලෙස පීඩාවට පත්ව සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි දින කිහිපයේ තවදුරටත් වැසි තත්ත්වයේ වර්ධනයක් සිදු වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම මුහුදු රළ ක්ෂණික ව ඉහළ යන බව ද තද වැසි හා පැයට කිලෝමීටර් 70 ඉක්මවූ තද සුළං ද ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලට යෙදීම අනතුරු දායක බව ද පැවසෙයි.

Exit mobile version